Tag Archives: ප්‍රතිශක්තිකරණය

ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී………! You raise me up to more than I can be……..!


download

තමන්ගේ අවුරුදු හයක් වයසැති දරුවා අසලදී දුම්බීම තහනම් කරමින් බ්‍රිස්බේන් නුවර පවුල් උසාවියේ නඩුකාර ජෙනී හෝගන් විසින් තීන්දුවක් ලබා දීම පිලිබඳ පුවතක් පසුගියදා මෙහි පත්තර වල තිබුණා. මේ තීන්දුවට හේතුවූ පවුල් අරගලය මත්පැන්, සිගරැට් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳව දෙමාපියන් අතර තියන වෙනස්කම් වල අසාමාන්‍ය අවස්ථාවක්.

ඉතා කෙටි කාලීන සඹදතාවයකින් බිහි වුණ මේ දරුවාගේ අයිතිය ගැන කියවෙන මේ නඩුව ටිකක් දිගට යන්නක්. දැනට මේ දරුවාගේ භාරකාරත්වය මව හා පියාට සම සමව හිමියි. එක්තරා අවධියකදී දරුවා, තාත්තා සමග ඉන්න විට, ඔහු හොඳටම බීමතින් සිටිය වග මව උසාවිය හමුවේ කියා සිටියා. එමෙන්ම, ඇයගේ අවසරයකින් තොරව, දරුවාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නත් ඇය උසාවියෙන් ඉල්ලා සිටියා.

ප්‍රතිශක්තිකරණය පිලිබඳ ඉල්ලීම හෝගන් විනිසුරුවරිය ප්‍රතික්ෂේප කෙරුවේ, එවැනි දෙයකින් දරුවාට හා සමාජයට සිදුවන අගතිය සැලකිල්ලට ගනිමින්. නමුත්, දරුවා අසල ඉන්න විට දුම් පානය, දරුවාගේ දෙමාපියන්ට තහනම් කිරීමෙන් නොනැවතුන විනිසුරුවරිය, අනෙක් දුම්පානය කරන මිනිසුන් (පවුලේ හිතවතුන්) ළඟ මේ දරුවා රැඳවිය යුතු නැතැයි නියෝග කළා.

මේ තීන්දුව ඕස්ට්‍රේලියාවේ වුවත් අසමසම එකක්. ඒ වගේම සමාජයේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ විතරක් නොවේ, රජයේ නීතිඥයා/ නීතිපති ගේත් විවේචනයට බඳුන් වූවක්. ප්‍රාන්ත නීතිපති කියුවේ, මෙවැනි අවස්ථාවකදී, දරුවාගේ යහපත වෙනුවෙන් යම් මැදිහත් විමක අවශ්‍යතාවය තිබුණත්, මිනිසුන් ජීවත් විය යුත්තේ කෙසේද කියා, අධිකරණයක් තීරණය කිරීමේදී ඉතා ප්‍රවේශම් විය යුතු වගයි. සිවිල් අයිතිවාසිකම් වල නිදහස වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක ප්‍රධානියා පවසා තිබුණේ, මෙය ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වලට ලැබුණ බරපතල පහරක් ලෙස.

ඉහත පුවත විශාල වැදගත්කමක් තියන දෙයක්. එනම් දරුවෙකු දෙමාපියන් යටතේ “අපයෝජනයට” ලක් වන්නේ නම්, එයට සමාජයේ මැදිහත් වීම කුමන විදිහේ එකක්ද කියන එක. මේ ගැන මා ඉදිරියට ලියනු ඇති. අද සටහන එය ගැන නොවේ.

මා කලින් ලියා තියන මේ සටහන ඔබ කියවූවා ද? නැත්නම් දැන් කියවන්න.මේකෙන් කියැවෙන්නේ ගෙදර පරිසරය කුමක් වුවත්, දරුවෙකුගේ ඉරණම එයින්ම තීරණය නොවන වග. මට පවා මේ කතාව ගාව ගන්න හැකියි. මා අර කලින් ලියා ඇති සටහන කියවන්න කියන්නේ අන්න ඒ නිසා. අපේ ජීවිතය කියන්නේ සංකීර්ණ විචල්‍යයන් සමුදායක, අවසාන ප්‍රතිඵලය.

මේ වන විට අපේ දරුවනුත් අද සීග්‍රයෙන් ලොකු මහත් වෙනවා. මාත් තාත්ත කෙනෙකු වශයෙනුත්, දරුවෙකු වශයෙනුත් අපේ අම්ම ගැනත් පොඩි සටහනක් ලියන්නට සිතුනේ වෙන කිසිවක් නිසා නොවේ. අද අපේ අම්මගේ උපන් දිනය නිසා.

අපේ අම්මා පාසල් ගුරුවරියක් (දැන් විශ්‍රාමලත්). ඇය ඉගැන්නුවේ ප්‍රාථමික පන්ති වලට. ගොඩක් වෙලාවට දෙවෙනි ශ්‍රේණියට. මට මතකයි ඒ දවස් වල අම්මගේ පංතියට දරුවන් දා ගන්න දෙමාපියන් කැමති වග අම්ම කියනවා. ඒ විතරක් නොවේ, මට මතක තව දෙයක් තමා, සමාන්තර අල්ලපු පංතියේ ගුරුතුමිය ඇගේ පාඩම කරන්නේ, අම්මා ඉගැන්වූ සතියට, පසුව කියන එක.

ඇය මට මතක හැටියට කළුතර ගුරු පුහුණුවට ගියේ, ගුරු වෘත්තීය කරගෙන යන යන ගමන්. අම්මලට සුජාතා අත්තනායක ඉගැන්නුවා කියල කියනවා මගේ මතකයේ තියනවා. එතකොට මා හොඳටම පොඩි ළමයෙක්. මට තාමත් මතකයි, අම්ම හවස් වෙලා ගෙදර එනවා. ඒ අතරිනුත් මේ සිදුවීම ඉතා තදින් මතකයේ තියන එකක්.

අම්ම, තාත්ත දෙන්නම රස්සා කරපු අපේ ගෙදර අප ගොඩක් ලොකු වෙනකම්, වැඩට කෙනෙක් සිටියා. මාරයි නේද? ඒ අයත් හරි අසරණ මිනිසුන්. හැබැයි ඔවුනතර විවිධ කට්ටිය සිටියා. මේ ගොල්ලෝ මොනවා කළා ද කියන එකත් අද වන විට මට පුදුමයක්.

රස්සාව, පරස්තාව හා දරුවන් කියන දේවල් සමග පොර බැදීම, පිරිමියෙකුට වඩා කාන්තාවකට අභියෝගාත්මකයි. මා ගෙදර වැඩ ගොඩක් කරනවා වුවත්, මගේ ප්‍රියම්භිකාව එයිට වඩා වෙහෙසෙනවා. මෙය සනාතන ප්‍රශ්ණයක්. මා පෞද්ගලිකව එහි පරතරය අඩු කිරීමට, හැමදා වෙහෙසෙනවා.

පරණ කතාවට ගියොත්, මේ කාලයේ අම්මා වෙලා ගෙදර එනකම් සමහරවිට අප සිටියේ බඩගින්නේ. ගෙදර උයන්න දේවල් තියෙන්න ඇති. හාල් සහ පොල් අපේ ගෙදර කිසිදා නොතිබුණ දේවල් නොවේ. නමුත් අර “වැඩකාරියන්” කියන්නෙත් අසරණ තරුණ ළමයි. ඔවුනට තනි තීරණ ගැනීමේ හැකියාවක් පරිසරය විසින් ලබා දී තිබුනේ නැතුව ඇති.

කොහොම වුණත් මා හිතන්නේ අම්මා හරි උනන්දුවෙන් පාසලේ ඉගැන්වීම කළා. ඒ නිසාම වැඩි වාසියක් අත්වුණේ අපට. අම්ම, අපව ලඟට අරන් කිසි දෙයක් කියල දුන්න කියා මගේ මතකයට එන්නේ නැහැ. තාත්තා නම්, ඉතා කුඩා මට පොත් වල කතා/පින්තූර කියා දුන්න. ඉස්සර අයියලාගේ ස්වභාව අධ්‍යයනය පොතක, පින්තූර තාත්තට කියල කියවා ගන්න මා හරි ආසයි. මේ පොඩිම කාලේ. තාත්තා මා උකුලේ තියාගෙන ලාම්පු එළියෙන් මේ පොත කියවනවා. එහි හිටපු කුරුල්ලෙක් මට තාම මතකයි. මුගේ පිටුවට එනකම් මා හැමදාම නොඉවසිල්ලෙන් ඉන්නේ. ඌ තමයි කැසවරි පක්ෂියා. මේ නම මට බොහොම බරපතල එකක්. කොහොම හරි පොතේ පින්තුර ඉවර වෙන්න කලින් මට නින්ද යනවා ඇති.

අපේ ගෙදර කාමරයක් පුරවල අම්මගේ පන්තියේ පාඩම් වලට අවශ්‍ය අධාරක උපකරණ තිබුණා. අපේ පුතාලට වගේ ලෙගෝ ඒ කාලේ අපට තිබුනේ නැහැ. හැබැයි අම්ම වඩුවෙකුට කියල හදා ගත්ත විවිධ හැඩයෙන් යුතු කුඩා ලී “ලෙගෝ” රාශියක් තිබුණා. මේවා අම්මගේ පන්තියේ පාඩම් වලට අවශ්‍ය ඒවා. හැබැයි මේවායින් අප ගෙදර සෙල්ලම් කෙරුවා. විවිධ හැඩයන්, කෝච්චි ආදිය නිර්මාණය කළා. එයිට අමතරව බ්‍රිස්ටල් බෝඩ් වල ඇඳපු හා හදපු තවත් උගැන්වීම් ආධාරක තිබුණා.

අම්මලාගේ පන්තිවල වාර විභාග ගෙදර ලකුණු කරන කොට අපත්, හොට දානවා. සමහරදාට ඒවායේ තියන දේවල් විනෝදාත්මකයි. ඔන්න එක ප්‍රශ්නයක තිබුණේ, තමන් වැඩක් කරන කොට, කෙනෙක් ඇවිත් දිගින් දිගට කරදර කරනවා නම්, මොකද කරන්නේ කියල. එක කෙනෙකුගේ උත්තරයක් වුණේ “පොඩ්ඩක් ඉන්න කියා, වැඩේ කළා, කතා කළා”. කවියක් වගේ නේද? මේවා මට තාමත් මතක එකත් පුදුමයි. අර රවී කියනවා වගේ, මතක තියා ගන්න අවශ්‍ය කරුණු නම් අමතකයි.

දවසක් අම්මගේ පංතිය පරික්ෂා කරන්න ආපු දෙපාර්තමේන්තු පරීක්ෂක ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. පුතාලා දුවලා අතරින් උදෙන්ම නැගිටින්නේ කවුද? සර්! මම, උදේ හයට ගනැගිටිනවා. ඒ දැරිවියක්. දුව නැගිටලා මොකද කරන්නේ? සර්, අම්මට, තාත්තට වැඳලා බුදුන් පුදනවා. සර්! සර්!! මම නම් නැගිටින්නේ, උදේ පහට. මේ පුංචි පුතෙක්. පුතා නැගිටලා මොකද කරන්නේ? මේ අහන්නේ පරීක්ෂක. සර්, මම චූ කරලා ගිහිං නිදා ගන්නවා. මේක හදපු කතාවක් නොවේ.

කොහොමහරි දෙමාපියන් ගුරුවරුන් වීම නිසා අපේ දිවිය, අද තියන තත්වයට ගෙන එන්න වඩාත්ම දායකත්වයක් දුන්න කියන එක නම් බොරුවක් නොවේ. අපට අවශ්‍ය කරන පොතපත හා කලින් කියුවා වගේ අමතර ඉගෙනීම් ආධාරක ඕනෙවටත් වැඩියෙන් තිබුණා. අද පවා මා දරුවෙක් පොතක් ගන්න ආස නම්, ඒ ගැන දෙවරක් සිතන්නේ නැහැ. හැබැයි අපට හොඳ පුස්තකාල තියනවා.

ගෙදර පවතින මේ වගේ තත්ත්ව දරුවනට ඉගෙනීමේදී මොනවගේ අන්දමට ද උදව් කරන්නේ කියන දෙය, නිකම් නිරීක්ෂණ වලට විතරක් සීමා නොවී, කර තියන පුළුල් පර්යේෂණ ඇසුරින් මා ලියන්නට ඉන්න සටහන ලඟදි ලියනවා. මා දකින දෙමාපියන් නම්, මේවා ගැන එතරම් අවධානයක් යොමු කරනවා කියා පෙනෙන්නට නැහැ. අද වන විට දෙමාපියන් (අපේ කට්ටිය) බලන්නේ, දරුවන්ගේ අධ්‍යාපනය බාහිර පුද්ගලයන්ට හා පාසල් වලට විතරක් බාර දීලා අතපිහදා ගන්න.

අපව උස්මහත් කරපු අම්මා අද දකින්නට ලැබෙන්නේ කලාතුරකින් වීමත් එක අතෙකින් දෛවයේ සරදමක් තමා. අඩුම ගානේ, ලෝකයේ කිසිවෙකුට අතපාන්නේ නැතුව ජිවත් වීමට ලැබුණ එකමත් මදෑ නේද? අප හදන කට්ටියත්, දැනටම ගෙදරින් එලියට ගිහිං ජීවත් වෙන හැටි ගණන් හදනවා. මරණින් මතු කෙසේ වෙතත්, “චක්‍රයක්” නම් අප මේ ජීවිතයේදී ම දකිනවා.

මට මගේ ජීවිතය දෙස නැවත හැරී බැලුවොත්, වෙනස් කර ගන්න කියා තියෙන්නේ ඉතා සුළු කොටසක්. හැබැයි මගේ දෙමාපියන් හෝ ඉපදුන රට හෝ හමේ පාට හෝ……..හෝ මට වෙනස් කර ගන්න අවශ්‍යතාවයක් නැහැ.

ඒ අතරිනුත් අම්මා විශේෂයි. කෙනෙකුගේ ශාරීරික ලක්ෂණ හා වත්-පොහොසත්කම අනුව නොසළකන ආදරයක් වේ නම් එය තමා සැබෑ ආදරය. අම්මගෙන් මේ ආදරය මා සැබෑවටම අත්විඳ තියනවා. අම්මාගෙන් පමණක් නොවේ, කවර හෝ කෙනෙකු ගෙන් එවැනි ආදරයක් ලැබීමට, ලැබීමම භාග්‍යයක් නොවේද?

අම්මට නිරෝගිමත් දිවියක් හා සුබ උපන් දිනයකට ආසිරි!

පද රචනය – ප්‍රේමකීර්ති ද අල්විස්

ආදරයේ උල්පත වූ අම්මා

මා ඔබගේ පුතු වූ…..
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ…
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි…

සුලැගිල්ලේ එල්ලී….
සද දිය කොට කිරි වතුරෙන්

ඒ දියරෙන් මුව දොවා…
දිව මතුරක් වන් නැලවිලි ගියෙන්
මතකයි මා නැලවුවා…
ජිවිතයෙන් ජිවිතයක් ගෙනදී
ඒ ජිවිතයට කිරි දී පණ දී…
මා දැඩිකළ අම්මා…
තුරුලට ගෙන අත් පා හැඩ ගන්වා

නිදි ගන්වා යහන් ගැබේ..
සිහිනෙන් ගෑ සුවදක් වාගේ
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ..
දවසින් දවසට සෙනෙහස ලබැඳි
ගෙන දී දිවියට නව පණ ලැබදී…
මා දැඩිකළ අම්මා..

10 Comments

Filed under Anniversary