Tag Archives: ප්‍රතිශක්තිකරණය

ප්‍රතිශක්තිකරණය ළමා අයිතිවාසිකමක් ලෙස!


ඔබ දන්නවනේ ගොඩක් රටවල ප්‍රාථමික හා ද්විතිය අධ්‍යාපනය අනිවාර්යයි. මෙය යථාර්තයක් බවට පත් කරන්න අධ්‍යාපනය නොමිලයේ දෙනවා. ඒ කියන්නේ මුළුමහත් සමාජයම ඒ සඳහා යන වියදම දරනවා. දරුවන්ට, තමන් වෙනුවෙන්, තමන්ට තීරණ ගන්න ගන්න තරම් දැනුමක් නැහැ. ගොඩක් වෙලාවට මේ තීරණ අයිතිය දෙමාපියනට හෝ භාරකරයන්ට ලබා දෙනවා. නමුත් ළමා අපයෝජනය කරන දෙමාපියන් හෝ භාරකරුවන් නම්, දරුවා පරිවාස භාරයට ගැනීමේ නීති ප්‍රතිපාදනත් තියනවා.

දරුවන්ගේ යහපතට කියා මෙහෙම දරුවන්, දෙමාපියන්ගෙන් ඉවත්කිරීම ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ මහා කළු පැල්ලමකුත් සනිටුහන් කරනවා. එය නම් ඇබෝරිජිනල් දරුවන් දෙමාපියන්ගෙන් ඉවත් කර රජයේ හා පල්ලි වල භාරයට ගැනීමේ ක්‍රියාවලියයි. පෙඩරල් හා ප්‍රාන්ත ආණ්ඩු සම්මත කරපු පනත් උපයෝගී කරගෙන, වසර 1909යේ සිට හැත්තෑව දශකය මුල් මුල් භාගය දක්වා පැවති මේ ක්‍රියාවලියෙන් හැදුන පරම්පරාව “සොරාගත් පරපුර” නමින් හැඳින්වෙනවා. වසර 2007 දී පෙඩරල් රජය මේ පරපුරෙන් සමාව ඉල්ලුවා.

මේ පරපුර හා එම ක්‍රියාවලියේ ප්‍රතිඵල ගැන පසු විපරම් තුලින් හෙළි වන්නේ, ඒ ක්‍රියාවලිය නිසා ධනාත්මක දෙයකට වඩා නපුරක් සිදුකර තිබෙන වගයි. මෙසේ ලොකු මහත් වූ සමහර දරුවන්ගේ ජිවිත කතා හරිම දුක්බර ඒවා.ඇත්තටම මෙය ජාතිවාදී පදනමකින් ගත්තු තීරණයක්.

කොහොම වුවත් ඇබොරිජිනල්වරුන්ගේ සමාජ වල පැතිරී තිබෙන දුරාචාර, බීමත්කම, අයහපත් ජිවන විලාසිතා නිසා දරුවන් අපයෝජනයට ලක්වීම අදත් අහන්නට ලැබෙන සුලභ පුවතක්. මෙයටත් රජයේ යලි මැදිහත්වීමක් මෑතක දී දක්නට ලැබුනා. සමහරුන් ජාතිවාදී ප්‍රවේශයක් ලෙසත්, තවත් සමහරුන් සාධනීය දෙයක් ලෙසත් අර්ථ දැක්වූ එම පියවරයනුත් එතරම් ඵලදායිකයයි අහන්න ලැබෙන්නේ නැහැ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය පහසුකම් නිසියාකාරව ලැබීමට මෙන්ම, අපචාර වලින් තොර ජිවිතයකට දරුවන්ට තියන අයිතියට මහා සමාජය මැදිහත් වන්නේ කොහොමද කියන ප්‍රශ්නය සනාතනික එකක්.

අද අහන්න ලැබුන පුවතක් තමා, වසර 2006 සිට මේ දක්වා වසර දහය තුල ප්‍රතිෂතිකරණය නොලබන දරුවන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහල ගොස් ඇති වග. අද වන විට මෙවැනි දරුවන් 40,000 ක් සිටිනවා කියා වාර්තා වී තියනවා.

මෙයට විසඳුමක් ලෙස සමාජ සේවා ඇමති කියා තිබුනේ, එවැනි දෙමාපියන්ගේ (එනම් දරුවනට ප්‍රතිශක්තිකරණය ලබා නොදෙන) සමාජ සුබසාධක දීමනා කපා හැරීමට යෝජනා කරන වගයි.

මෙයිට පෙර කරපු මත සමීක්ෂණයකින් ඕස්ට්‍රේලියානුවන් 86% ක් ප්‍රතිශක්තිකරණය අනිවාර්ය කිරීමේ නීතියක් ගෙනෙනවට පක්ෂ යයි වාර්තා වුනා.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුල එම්පතියක් සහිත සමාජයක් ගොඩ නැගීම සිහිනයක්ම නොවේ යයි කියල මා විශ්වාස කරනවා. අඩුම ගානේ ඒ සඳහා විභවය, ඒකාධිපති සමාජයකට වඩා වැඩියි.

http://www.dailytelegraph.com.au/news/nsw/galaxy-poll-86-per-cent-of-australians-want-childhood-vaccination-to-be-compulsory/story-fni0cx12-1227290503812

3 Comments

Filed under News, Social