Tag Archives: පාසල

හවස! Going back to the corner, where I first saw you…..!


මෙන්න මේ සටහන ලිවීමෙන් පසුව ගතවූ හතරවෙනි බදාදා අද. ඇත්තටම උදෙන්ම නැගිටින විට දවස ටිකක් දිගයි කියා දැනෙනවා. විශේෂයෙන් කාර්ය බහුල දිනයක් නොවේ නම්. අද නම් එවැනි දිනයක්. අඩුම ගානේ පටන් ගත්තු එක දෙයක් මාසයක් පවත්වාගෙන යාමට හැකි වීමත් ජයග්‍රහණයක් නේ.

කලින් සටහනට උරණ වූ, කියවීමට හැකි වූ හා නොහැකි වූ නමුත් කියවීමට පැමිණි සියලු දෙනාටම මගේ කනගාටුව. යලිත් මා ඒ ගැන සිතා බලන්න සමහර ප්‍රතිචාර හේතු වූවා. යමක් කියවන්නට ආසා නම්, එයට වැට බඳින්නට උත්සහ කරන එක හොඳ නැහැ. දැල් වලින් සුළං නවතන්නත් බැහැ. හැබැයි එහි ඇත්ත තේරුම, ලිවිම හා කියවීම ප්‍රීතියක් ජනිත කරවීම මගේ සරල බලාපොරොත්තුව වීමයි. මා කරපු දේ ඇත්තටම කවුන්ටර්-ප්‍රඩක්ටිව් වැඩක්.

මා දැන් මාස දෙකක පමණ සිට ලංකාව පිලිබඳ ප්‍රවුර්ති කියවන්නේ අන්තර්ජාතිකව හෝ ඕස්ට්‍රේලියානු නිවුස් වෙබ් අඩවි වල පළ වුනොත් පමණයි. කෙනෙක් කියාවි, ඉතිං අපට පාන්ද කියා. අන්න ඒකම නිසා තමා මාත් කියවීම අතහැර දැමුවේ.

පුරුද්දට වගේ කරගෙන එන මේ වගේ දේවල් වලින් ජිවිතයට එතරම් ප්‍රයෝජනයක් නැති වග දැනෙන්නේ, එය නතර කළ විටම තමා. ලංකාවේ ජිවත් වන ඕනෙම කෙනෙකුට වඩා මා වගේ අයෙක් ලංකාව ගැන වධ වෙනවා යයි යම් කෙනෙකු යෝජනා කලොත්, එය කොතරම් බොරුවක්ද කියා ඔබටත් සිතෙනවා ඇති.

මව් බිම පිලිබඳ තියන ඇල්ම නැති කරන්න නොහැකි වුවත්, නියර් හා ඩියර් විශාල පිරිසක් එහි ජිවත් වුවත්, එහි ජිවත් වන කෙනෙකුගේ ජිවන විලාසිතා කුමන අන්දමේ විය යුතුද කියා අදහස් දැක්වීම නිරර්ථක කාර්යයක්.

එයට හේතු විශාල සංඛ්‍යාවක් තිබුණත්, මගේ පැත්තෙන් තියන ප්‍රධාන කරුණ නම්, අපගේ ප්‍රමිතීන් හා බලාපොරොත්තු වන තත්ත්ව වල ඇතිවී තියන වෙනස් කමයි. කලින් සටහනට කලින් සටහනේ කඩේ යාම ගැන මා ලියුවේ අන්න ඒ වගේ දෙයක්.

එතැනදී අනෙක් අය එකඟද නැත්ද යන්න මට විශාල ප්‍රශ්නයක් නොවේ. මොකද සේවය සපයන අනෙක් ආයතනය මා ඉල්ලන දේ, එම මිලට දෙන්න කැමති නිසා. එය සමාජයට හානියක් නොවන තේරීමක්. සමාජයට හානිදායක තේරීම් පවා බහුතර එකඟත්වයෙන් කරන සමාජයක සුළුතරයට කරන්න හැකි දේවල් සීමිතයි.

මා යටගිය දිනෙක ලංකාවට ගිය විටෙක, ඉගෙන ගත්තු පාසලක් අසල හිටිය, පොඩි පන්ති වල එකට ඉගෙන ගත්තු කෙනෙකු සොයා ගියා. එයාට අමතරව තව කෙනෙකු ද අහම්බෙන් හමු වූවා.

මිනිහා මගේ විස්තර අහල, වරෙන් උඹට අපේ කලින් පන්ති පෙන්වන්න කියා පාසැල “ඇතුලට” මාව, මගේ එතරම් කැමැත්තකින් තොරවම එක්කන් ගියා. එදා පාසල් දිනයක් නොවේද කොහෙද. හැබැයි සේකුරිටි එකේ හිටපු කට්ටිය අරයගෙ යහළුවන්. ඇතුලට ගියා උදෘත පාඨ ඇතුලේ දැම්මේ, මේක ඇතුලට යාමකුත් නොවන නිසා. එයට හේතුව අර පාසලේ පිහිටීමේ තියන අද්විතීය බවයි.

කොහොම හරි, එදා පාසලේ මොකක් හෝ කටයුත්තකුත් තිබුණා කියල මා හිතනවා. පාසලේ ගුරුවරියකුත් අපට අහම්බෙන් මුණ ගැසුණා. අරූ එක පාරටම, මිස් දන්නවද, මේ අපේ පාසලේ ඉගෙන ගත්තු මහත්තයෙක් කියා විස්තර කියුවේ, මන් හොල්මන්ද පොල් කොළ වෙලා ඉන්දැද්දී. ඔය කතා කිසි වැඩකට නැති ඒවානේ.

ගුරුතුමී හැරිලා, මගේ ඔලුවේ ඉඳන් කකුල් දෙක දක්වා එක්ස්රේ ස්කෑන් පාරක් දමල කියුවේ, අපිත් ඉගෙන ගෙන තියෙන්නේ මේ පාසලේ තමා, මහත්තය පරණ පාසල බලන්න ආව නම්, ටිකක් හොඳට ඇඳගෙන එන්න තිබුණා නේද? බලන්න ඔහොම පාසල් ආවාහම තියන රෙස්පෙක්ට් එක මොකක්ද?

අරූ රතු වෙලා යත්දී, මා බොහොම ස්තුතියි මිස් කියාගෙන, ඌවත් අරන් එලියට ආව. ඉන්පසු අප නැවතුණේ ඇත්තටම යන්න ඕනේ “හරි” තැනක. එතැනට නම් මා ඇඳලා ඉන්න හැටි හොඳට ගැලපුනා. අරූ තරල සාර ලේ වලට උරා ගන්න විට, මිස්ට බනින්න ගත්තා. හැබැයි මා වැඩේ පැහැදිලි කර දුන් පසුව මිනිහා කට පියා ගත්ත.

පුතාගේ වැඩ වලට මා පාසලට යද්දි හවස නම්, ඇඳගෙන යන්නේ මට පහසුම දෙයක්. මේවා ගැන මා එතරම් සිතන්නෙත් නැහැ. මොකද ස්වයංක්‍රීයව වගේ කෙරෙන දේවල් නිසා. හැබැයි දැන් යන විට අර සිද්දියත් සමහර විට මගේ සිතට නැගෙනවා.

පළමුව ඇත්තටම පාසැල ඇතුලට ගියේ නැති වුණත්, අරූ ගේ කීමට එකඟ වුණ එක මා කරපු වරදක් නේද?

පලි
ඉන් දින කිහිපයකට පසුව මා ඉගෙන ගත්තු තව පාසැලක ඉදිරිපිටින් යමින් සිටියා. එතැනදී ඒ පාසැල ඇතුලට යන්න මගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් එහි ඉදිරිපිට දී, අහම්බෙන් දුටුව කෙනෙක්, සමග වචනයක් කතා කෙරුවේ, ඔහුට මව මතක නැති වුණත්, මට ඔහුව මතක් වූ නිසා. එයා ඒ පාර, මාව පොඩි සංචාරයකට එක්කන් ගියා (පාඩම් ඉගෙන ගන්නේ නැහැනේ).

ඒ පාසල් දිනෙක හවසක්. දශක ගණනාවකට පසු වෙනස් වූ හා නොවූ ගොඩනැගිලි දකින ගමන්, එසේ වෙනස් නොවූ අනෙක් දෙවල් ගැනද ඔහු කියූ කතා ඇත්තෙන්ම, සිතන්නට යමක් මටත් ඉතිරි කෙරුවා. ඒ ගැන නම් ලියන්න මට අවශ්‍ය වුණත්, ලියැවෙනු ඇත්තේ අනාගත දිනෙකම තමා.

මේ මා අද උදෙන්ම අහපු සින්දුව. වෙන තේරුම් නැහැ. 😉

19 Comments

Filed under Social