Tag Archives: පොහොර

සුළු ධනේශ්වර අසල්වැසියා හා ලෝක කෘෂිකර්මය!


මා මෙය කලින් ලියා තිබෙනවා. අපගේ ජීවිතය සරල එකක්. එය රඳා පවතින්නේ අනුන් මොනවාද කරන්නේ කියන එක මත නොවේ, අපට මොනවාද කරන්න පුළුවන් හා අපට මොනවාද අවශ්‍ය කියන එක මත. මේ පාරිභෝගික ලෝකය අපව පාලනය කරනවා යයි කියන කෙඳිරි ගෑම් එතරම් ඇත්ත නොවේ. වෙළඳ පොළ මගින් පාළනය නොවන මිනිසෙකු අපට ධනපති ක්‍රමය තුල බිහි කරන්න පුළුවන්. එයට ඉගෙනීම් (සහතික නොවේ) නම් අවශ්‍යයි.

අල්ලපු වත්තේ සුද්ද එයාගේ එළවලු පාත්තිය අත ගාන ගමන් මටත් කතා කළා. මිනිහගේ තක්කාලි ඕනෙද කියල අහන්න. අප ගොඩක් දිනෙකින් කඩෙන් තක්කාලි ගෙනාවේ නැහැ. තක්කාලි විතරක් නොවේ අමු මිරිසුත් ගත්තේ නැහැ. හැබැයි අපේ තක්කාලි ලොකු ඒවා. අරයා වවා තියෙන්නේ චෙරි තක්කාලි කියන කුඩා රවුම් තක්කාලි. හොඳයි ටිකක් දීපන් කියුවහම, මිනිහා මට සිලි සිලි බෑග් එකක් පුරවල තක්කාලි දුන්නා. මා ගත්තේ එයින් ස්වල්පයක් පමණයි. තව කාට හරි ඉතුරු ටික දෙන්න කියා ආපසු මිනිහට දුන්නා.

ග්‍රීස්ම කාලය පටන් ගන්න කොට මා තවාන් දමා තිබුන කොච්චි හා තවත් සැර මිරිස් වලින් පැල කිහිපයක් එයාට දුන්නා. දැන් ඒවායේ කරල් ඇවිත් කියා මිනිහා කියුවා. ඒවා කන්නේ කොහොමද හොඳ කියලත් මගෙන් ඇහුවා. සලාද වලට දමල ගන්න පුළුවන් වගත්, අච්චාරු දාන්න පුළුවන් වගත් මා කියා දුන්නා. මොකද මේ කොච්චි කරල් හැදෙන හැටියට ඒවා ටික දිනකින් කාල ඉවර කරන්න බැහැ. අනික මෙහෙ ග්‍රීෂ්ම කාලය කියන්නේ කෙටි කාලයක් නිසා ගස් වැල් තම වර්ගයා බෝ කරන්න අවශ්‍ය පියවර එම කාලය තුල උපරිමයෙන් ගන්නවා. මටත් මුලින් මිරිස් පැල දුන්නේ සුද්දෙකු වුවත්, අල්ලපු ගෙදර පොර ඒවාට කියන්නේ ශ්‍රී ලන්කන් චිලි කියල.

මා කියුවේ උඹට මට මේ වෙලාවේ දෙන්න දෙයක් නැහැ. හැබැයි වට්ටක්ක හොඳට පැහුනහම දෙන්නම් කියා. මිනිහා මට මෙහෙම කියුවා. උඹ දන්නවද, උඹේ වට්ටක්කා වැලක් අපේ පැත්තට ඇවිත් ගෙඩි දෙක තුනක් හැදිලා තියෙන්නේ. උඹ අකමැති නැත්නම් මා ඒ ගෙඩි තියා ගන්නම් කියා. ඇත්තටම මගේ වට්ටක්කා වැල් කප්පාදු කළේ නැහැ. ඔහේ යන්න දුන්නා. ළඟ තියන පඳුරක් උඩින් ගිය එක වැලක ගෙඩි හැදිලා තියෙන්නේ ඒ පඳුරේ උඩ. එනම් උඩ පලගත්ත වට්ටක්කා. හරිනම් වට්ටක්ක වැලේ ප්‍රධාන වැල ඉතිරි කර, එන කුඩා අමතර වැල් අයින් කෙරුවොත් වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. අපට එච්චර ගෙඩි ගොඩක් අවශ්‍ය නැහැ. අල්ලපු වත්ත හා අපේ වත්ත අතර වැටක් තියනවා. මේකෙන් රිංගන්න පුළුවන් කුඩා හිල් අතරින් තමා වැල් එහෙට යන්න ඇත්තේ. ඒ වග මා දුටුවේ නැහැ. මා සුද්දට කියුවේ උඹේ පැත්තේ හැදුන ගෙඩි උඹ තියා ගනින්. පැහුනහම ඕනේ නම් මාත් තව දෙන්නම් කියා.

ඇත්තටම අපේ ගෙවත්ත කුඩා එකක්. එයිනුත් කුඩා වපසරියක තමා මා එළවලු හිටෙව්වේ. කොන්ක්‍රීට් දමා, නිසරුව තුබුන කොණක තමා මා එළවලු පාත්තිය දැමුවේ. මෙවැනි දෙයකින් ආර්ථික වශයෙන් ගණන් බැලුවොත් පාඩුවක් මිසක් ලාභයක් නැහැ. මා පාත්ති හදන්න ලී හා ඇණ කඩයෙන් ගත්තා. ඉන්පසු පස් කඩයෙන් ගත්තා. එයිට අමතරව පොහොර (හා පළිබෝධක නාශක) වලටත් පොඩි ගාණක් යනවා. මා කාබනික කෘෂිකර්මයක් විශ්වාස කරන්නේ නැහැ. ඒ වැය කරපු ගාණෙන් මාස හයක් විතර එළවලු හා පලතුරු කඩෙන් කන්න පුළුවන්.

බඩ ඉරිඟු ගහක්, මිරිස් පැලයක් හැදෙන හැටි දැකීමම සිතට දනවන්නේ සතුටක්. එයිටත් අමතරව කඩෙන් ගෙනෙන එකම රසයෙන් යුතු තක්කාලි, මිරීස් වලට වඩා ගෙවත්තේ හැදෙන, එදාම කඩා ගත් මේවායින් හදන සලාදයක හෝ හොද්දක ඇත්තේ වෙනම රසයක්. අපට කැමති ආකාරයේ වට්ටක්කා හෝ වෙනත් ඕනෙම වර්ගයක එළවළුවක් වවා ගන්නට හැකි වීම තවත් හොඳක්. මේවට මුල්‍යමය වටිනාකමක් දෙන්න අමාරුයි.

නමුත් තව දින දෙකකින් අපේ ග්‍රීෂ්ම සෘතුව ඉවර වෙනවා. හේමන්ත සෘතුව තමා එන්නේ. එතකොට එළවලු පාත්තියත් ඉවරයි. මතකනේ අර රුසියන් ළමා කතා වල හේමන්තයේ අග, ඇපල් ගහක ඉතිරි වෙලා තිබුනේ එකම ගෙඩියයි. දැන් මේක කී දෙනෙක් සමග බෙදා ගන්නද? හැබැයි එය ගොඩක් දෙනෙක් කෑව. මේ කතා කියවපු පොඩි කාලේ යන්නන් වාලේ සෘතු ඉගෙන ගත්තට, මේ කියන්නේ මොනවාදැයි මට නම් කිසිම හැඟීමක් තිබුනේ නැහැ. අදත් මේ සෘතු වල සිංහල නම් මට විකාර සහගත හැඟීමක් ඇති කරනවා. මේ පසුව එකතු කරපු කෑල්ලක්. රසිකගේ හේමන්ත කතාව හින්දා.

ආහාර නිෂ්පාදනය රටක තිබිය යුතු එක අංගයක්. රටක් ආහාර වලින් ස්වයං පෝෂිත කිරීම යනු නිෂ්ඵල කාර්යයක්. නමුත් යම් පමණක ආහාර නිෂ්පාදනයක් තිබීම රටක ආහාර සුරක්ෂිතතාව විතරක් නොවේ ජාතික ආරක්ෂාවටත් බලපාන දෙයක්. මේ ගෙවතු වගා වලින් එය කරන්නට බැහැ.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ කතාබහක් තියනවා ආනයනය කරන කෘෂි නිෂ්පාදන ගැන. මේක මතු වුණේ චීනයෙන් ආනයනය කරපු අධිශීත කරන ලද බෙරි වර්ග වලින් කිහිප දෙනෙකුට හෙපටයිටිස් ඒ වැළදුන වග විශ්වාස කිරීමයි. මේ බෙරි වර්ග වලට පොහොර ලෙස මිනිස් මල යොදා ගන්නා වග කියවුණා. නියමිත පරිදි සකස් නොකරන ලද මිනිස් මල විතරක් නොවේ ශාක හා සත්ව කොටස් වලින් නිපදවූ කොම්පෝස්ට් පවා වගා බිමට යෙදීම ප්‍රශ්න වලට පාර කපන්නක්.

සුපර්මාර්කට් කාරයන් දේශීය නිෂ්පාදන මිලට නොගෙන, ලාභයට චීනයෙන් හා දකුණු අමෙරිකාවෙන් එළවලු හා පලතුරු වර්ග ගෙන්වන වග වාර්තා වුනා. මෙහෙ තියන තත්ත්ව පාලන ක්‍රම හා වැටුප් අනුව, ගොවියන්ට චීනය සමග තරඟ කරන්නට අමාරුයි. ඔවුන් වගා කරන හැටි මේ බෙරි වලින්ම තේරෙනවානේ. ඔවුනගේ මධ්‍යම පංතිය සොයන්නේ ඕස්ට්‍රේලියානු/නවසීලන්ත මස් හා කිරි. මොකද දේශීය නිෂ්පාදන හදන්නේ කොහොමද කියා ඔවුන් දන්නවා.

මෙහෙ මිනිසුන් එකම මිලට තිබුනත් දේශීය නිෂ්පාදන කියන එකට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති වග, ඩික් ස්මිත් නමැති ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික මානවවාදියා අත්හදා බලපු “පර්යේෂණ” ව්‍යාපෘතිය බංකොලොත් වීම මගින් හෙළි වුනා. දැන් ප්‍රශ්නයක් කරලියට ඇවිත් තියන වෙලාවේ කෑ ගැහුවාට, ටික දිනෙකින් යලිත් මේ වග මිනිසුනට අමතක වේවි.

ඕස්ට්‍රේලියානු කෘෂිකර්මාන්තය පෙඩරල් රජයේ සුබසාදන මත රඳා පවතින කර්මාන්තයක් නොවේ. ඇමෙරිකානු පෙඩරල් රජය වසර 1995-2005 දක්වා කාලය තුල ඩොලර් බිලියන 250 ක් ගොවිපොළ සහනාධාර වශයෙන් ලබා දී තිබෙනවා.වසර 2008 දී ඇමෙරිකානු කොංග්‍රසය මගින් අනුමත කරපු “ආහාර පනත” මගින් ඉදිරි පස් වසර සඳහා ඩොලර් බිලියන 299 ක් ගොවිපොළ සහනාධාර හා ඒ හා බැඳුනු ග්‍රාමීය ව්‍යාපෘති සඳහා වෙන් කෙරුනා.

ඉදිරියට මේ ගැන වැඩිදුර ලියන්න බලමු නේද?

Advertisements

16 Comments

Filed under Agriculture, Lifestyle, Opinion, Social