Tag Archives: බටහිර ඕස්ට්‍රේලියාව

ක්‍රෝධයේ තල වපුරා කැපූ සාමයේ මුං අස්වැන්න!


canola-field-

පෙරේදා ඒබීසී පළමු නාලිකාවේ ඕස්ට්‍රේලියානු කතාව යන වැඩසටහනට (මෙය සතිපතා යන එකක්, වෙන වෙන කතන්දර) අපූරු කතාවක් ගියා. එය මා කලින් ලියා තියන මාතෘකාවකට ද අදාළ නිසාත්, මා ටිකක් දන්නා කතාවක් නිසාත්, ලෝකයේ ම අවධානය යොමු වූ කතාවක් නිසාත් මේ සටහන ලියන්නට සිතුනා.

මේ කතා පුවතට අදාළ සිදුවීම බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයට අයත් කොජොනප් කියන ප්‍රාදේශීය නගරයේ හට ගැනුනත්, එය මුළු ඕස්ට්‍රේලියාවට හා මුළු ලොවටම එක්තරා විදිහකට බලපාන එකක් වුණා. මෙවැනි කුඩා නගරක ජිවත් වන සියල්ලන්ම එකිනෙකා අඳුනනවා. එයිටත් අමතරව පාසල් යන කාලයේ පටන්ම මිතුරන් වන ගොවි පවුල් දෙකක් අතරයි මේ කතාව දෝලනය වන්නේ.

පසුබිමට අදාළ තොරතුරු ටිකක් මුලින් ලියන්නම්. ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරපු බෝග වර්ග ගැන ඔබ දන්නවනේ. මා යන්තමින් කලින් ලියා ඇති. දැනට ඕස්ට්‍රේලියාවේ වෙළඳ බෝග ලෙස ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරපු කපු හා කැනෝලා වගා කෙරෙනවා. කපු නම් අප හැමෝම දන්නවනේ. වචනේ අකුරු මාරු කළත් එය මේ සිංහල බ්ලොග් ලෝකේ හැමතැනම ලියවෙන වචනයක් නේ.

කැනෝලා කියන්නේ, ඔය ඇනෝලා වගේ නොවේ, ප්‍රයෝජනවත් බෝගයක්. මෙයට ඉතා සමාන ශාකයක් තමා අබ. මේ දෙකේම ශාකයත්, මලත් (මැරුණත් නොවේ) හා ඇටත් එක වගේ. උද්භිද විද්‍යාත්මකවත් මේවා නෑදෑයන්. ඒවා බොරින් විස්තර. අබ ශාකය නොවේ, අබ සරණ ගැන නම් මා කලින් ලියා තියනවා.

මේ ජිඑම් කැනෝලා ප්‍රථම වරට ඕස්ට්‍රේලියාව අනුමත (අදාල ප්‍රමිති කරණ ආයතනය මගින්) කරන්නේ 2003 වසරේ. මේ බෝගය ඇමෙරිකානු මොන්සන්ටෝ සමාගමේ නිෂ්පාදනයක්. මේකේ තියන අරුම ලක්ෂණය නම්, ග්ලයිපොසට් කියන රසායනය අඩංගු වල් නාශක වලට ප්‍රතිරෝධියි. මේවා කලින් ලියා ඇති කරුණු වුවත්, නැවත යන්නම්.

ග්ලයිපොසට් කියන්නේ සියල්ල නසන රසායනිකයක්. වගාවක් තියන කොට මේවා ඉස්සොත් වල් ගස් විතරක් නොවේ වගාවටත් කෙල වෙලාම යනවා. පුරන් කුඹුරකට ගහන්න පුළුවන්. ගොයමත් එක්ක තියන ගිරාපලා, ජබන් ජබර ආදිය වෙන් කර මරණ්න බැහැ. මෙන්න මෙතනට තමා අර ග්ලයිපොසට් වලට ප්‍රතිරෝධී කැනෝලා එන්නේ. දැන් මේ කැනෝලා යායකට කිසි බයක් නැතුව ගල්යිපොසට් අඩංගු වල් නාශකයක් ගැහුවහැකි. කැනෝලා ටික අපූරුවට ඉතුරු වෙද්දී යායේ තියන සියලුම වල් පැල හබක් වෙලා යනවා.

වසර 2003 දී ප්‍රමිති ආයතනය අනුමත කෙරුවට මේවා වගා කිරීමට නම්, ප්‍රාන්ත රජයයන් වල වෙනම නීතියෙන් යලිත් අනුමත විය යුතුයි. වික්ටෝරියා හා නිව් සවුත් වේල්ස ප්‍රාන්ත මේ අනුමැතිය 2008 වසරේදී ලබා දුන්නා. බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය 2004 වසරේ සිට ජාන වැඩි දියුණු කරපු භෝග සඳහා තහනමක් ක්‍රියාත්මක කළා. වසර 2008 දී බලයට පත් වෙන ප්‍රාන්ත නව ආණ්ඩුව 2010 වසරේදී මේ තහනම ඉවත් කරනවා.

දැන් අපේ කතාවට ආවොත් අර කොජොනප් කියන කුඩා නගරයේ ඉන්න මිතුරු ගොවි පවුල් දෙකක වගා බිම් තිබුනේ එකිනෙකට යාබදව. මේ පවුල් වල නම් මා ලියන්නේ නැතිව කතාව ලියනවා. එයින් එක පවුලක් අප දන්නා කාබනික ගොවිතැන කරන කට්ටිය. ඔබ දන්නවනේ කාබනික ගොවිතැන කියන්නේ මේ මාර්කට් එකේ අර රසික කියන පරිදි “නිෂ්” කොටසක්. මේ බ්ලොග් වලත් හැමෝම එකම දේවල් ලියුවොත්, අන්තිමට සමහර ඒවා බලන්න කිසිම කෙනෙක් නැතිව යනවා. ඉතිං අල්ලන්න ඕනේ කවුරුත් අත නොගහන පැති වලට. මේ වගේ කුඩා නමුත් විශේෂිත වෙළඳ පොළ අල්ලන්නේ විශේෂ හේතුවකට නේ. ගොඩක් වෙලාවට ඉහල ගාණකට බඩු දෙන්න පුළුවන්. බ්ලොග් වල නම් කිසිවෙකු බලන්නේ නැති බ්ලොග් ලියන්න පුළුවන්. නමුත් සිතේ සතුට ඉහලනේ සේරටම වඩා. අන්න මිල.

දැන් මේ ඊනියා කාබනික වෙළඳ පොළට පැවැත්මක් ඇත්තේ සම්ප්‍රදායික කෘෂිකර්මයක් තියන නිසා. එනම් හැමෝම කාබනික වැවුවොත් එහි විශේෂත්වයක් නැහැ. හැබැයි එහෙම වුවොත් මානව සංහතියේ පැවැත්ම අනතුරේ. මොකද දැන් අප මිලදී ගන්නා “අකාබනික” කෘෂි නිෂ්පාදන වල දැන් මිල මෙයිට දෙතුන් ගුණයක් ඉහල යන්න පුළුවන්. මොකද නිෂ්පාදනය විශාල ලෙස අඩුවී, ඉල්ලුම විශාල ලෙස ඉහල යන්න හැකි නිසා.

අර කාබනික ගොවිතැනටත් ප්‍රමිති සහතිකය දෙන ආයතනයක් ඕස්ට්‍රේලියාවේ තියනවා. මේකට කෙටියෙන් කියන්නේ නාසා කියල. අර ඇමෙරිකන් නාසා නොවේ, අගට ඒ අකුරු දෙකක් තියන එකක්. දැන් අර ගොවි මහතා මේ සහතිකයත් අරන් කාබනික ගොවිතැන කරමින්, ඔය සුළු ධනේශ්වර වැඩිපුර වියදම් කරන්න පුළුවන් අයට නිෂ්පාදන හදමින් සිටියා.

අල්ලපු වත්තේ හිටපු ප්‍රගතිශීලි යාළුවා අලුතින් කරන්න දෙයක් හිතමින් ඉන්න විට තමා ජිඑම් කැනෝලා වලට තිබුණ තහනම ඉවත් වුණේ. ඔන්න ඉබ්බා දියට යනවා වගේ මෙයා 2010 වසරේ තමන්ගේ ගොවිපොළේ ජාන වැඩි දියුණු කරපු කැනෝලා වවනවා.

මෙතැනදී තව විස්තරයක් කියන්න ඕනේ. ඔබ අබ කරල් දැකල ඇතිනේ. කැනෝලාත් අන්න ඒ වගේ. මේවා නෙලීමේදී එක්තරා ක්‍රමයක් අනුගමනය කෙරෙනවා. එයට සිංහලෙන් කියන්නේ Swathing කියල. ගොයම් කපනවා වගේම තමා. කැනෝලා කරල් එක්තරා අවධියකට මේරුනාට පසු කපල, වගා බිමේ දින දහයක් පමණ තියෙන්න අරිනවා. ඇට ගන්නේ ඉන් පසු. ඇයි මෙහෙම කරන්නේ?

DR_3376  

අබ ගැන දන්නවා නම් ඔබ දැකල ඇති ශාකයේ පහල කරල් ඉක්මනින් පැහෙනවා. උඩ කරල් පැහෙන්නේ පසුව. ඒ වගේම මහා යායක සියලුම ශාක එකම වෙලාවට පැහෙන්නේ නැහැ. අර කරල් කපා වේලෙන්නට ඇරීම මගින්, ඇට සියල්ලක්ම එකම ගාණට මේරීමට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම හොඳටම මේරෙන්න ශාකයේම තියෙන්න ඇරියොත්, කරල් පුපුරා ඇට විසිරී ගොස් ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩුත් වෙනවා.

මේක දැන් සිතුවාට වඩා දික් වෙනවා. කියවන්න එන පිරිස තවත් අඩු වෙනවා. කෙටි කරමු. දැන් අර කැනෝලා වවපු යාලුවා, අස්වැන්න කපල වේලෙන්නට යායේ තියෙන්න ඇරියා. බටහිර ඕස්ට්‍රේලියාවේ වතු වල හුලං ගොඩක් සැරයි. මේ කැනෝලා සුළං නිසා, කරල් අර කාබනික යාලුවාගේ වත්තටත් යනවා. එයා කාබනික නේ. ඔන්න එයා උසාවි යනවා. මොකද අර නාසා එක එයාගේ වත්තේ හතරෙන් තුනක කොටසක් තව දුරටත් කාබනික වන්නේ නැති කියා සහතිකය ඉවත් කරනවා. මෙයින් වන ආර්ථික හානිය වෙනුවෙන් තමා ඔහු උසාවි යන්නේ.

මේ නඩුව නවතින්නේ ප්‍රාන්ත සුප්‍රීම් උසාවියේ. එහි තීන්දුව ලැබුණේ පසුගිය සඳුදා. මේක තමා ලොවම බලා සිටියේ. අහපු නඩුකාරයා, නඩුගාස්තුවද ගෙවන්න නියම කරමින් තීන්දුව දෙන්නේ ජාන තාක්ෂණ කැනෝලා ගොවියාට පක්ෂව. ඇයි එහෙම තීන්දුවක් දුන්නේ කියන එකත්, මෙහි අභියාචනාවේ තීරණය කුමක්ද කියන එකත් ලබන සඳුදාට නියමිත මේ රුපවාහිනී වැඩ සටහනේ දෙවන කොට නරඹා ලියන්නම්.  

images http://www.abc.net.au/news/2015-03-16/wa-farmers-describe-toll-of-cross-contamination-court-case/6320668http://lukeaustinphotography.com/images/products/canola-field-.jpghttp://img1.photographersdirect.com/img/19941/wm/pd3005721.jpghttp://northerngate.ca/wp-content/gallery/seeds_1/canola_0.jpg

10 Comments

Filed under Agriculture, Food