Tag Archives: මානව පරිණාමය

නියාන්ඩතාල්වරුන් අප අතරට ආවේ කොහොමද?


man

නූතන මිනිසා කියන්නේ, පරිණාම මිනිස් ගසේ එක සුවිශේෂී අත්තක් වුවත්, එය වැඩීමට, මෙලොවින් තුරන්ව ගිය අනෙක් මිනිස් විශේෂත් දායක වී තිබෙනවා.

අපේ ජාන වල විශ්ලේෂණ පවසන්නේ අපේ මුතුන් මිත්තන් කියන්නේ වෙනත් මානව විශේෂ ලෙස සලකන නියාන්ඩතාල්, ඩෙනිසෝවානුවන්* හා වෙනත් උත්තර අර්ධගෝලයේ විසූ මානව විශේෂ සමග ලිංගික සඹදතා පැවත්වුවන් වගයි. මේ මිශ්‍ර වීම් මගින් නූතන මිනිසාට අප්‍රිකාවෙන් පිටත පරිසරය සමග ඔට්ටු වීමේ හැකියාවට අමතරව, ඇදුම, චර්ම රෝග හා සමහරවිට ආතතිය ද උරුම කර දුන් වග විද්‍යාඥයන් විශ්වාස කරනවා.

හැබැයි ප්‍රතිශතයක් ලෙස ගත්ත විට මේ ජාන මිශ්‍රවීම ඉතා කුඩායි. උදාහරණයකට යුරෝපීයයන්ගේ හා ආසියානුවන්ගේ තියන නියාන්ඩතාල් ජාන ප්‍රමාණය 2-4% ක් ද, මෙලනිසියානුවන්ගේ හා ඇබෝරිජිනල් ඕස්ට්‍රේලියානුවන්ගේ තියන ඩෙනිසොවන් ජාන ප්‍රමාණය 5% ක් පමණද වෙනවා.

හැබැයි ප්‍රමාණයෙන් කුඩා වුවත්, බලපෑම නම් විශාල එකක් වගයි විද්‍යාඥයන් පවසන්නේ. එනම් එකතු කරපු ලක්ෂණ කුඩා වුවත් ඒවායේ බලපෑම තීරණාත්මක වන වග.

ගිය වසරේ කරපු ජාන අධ්‍යයන වලින්, කියවෙන්නේ යුරේශියනුවන්ට එකතු වී ඇති නියන්ඩතාල් ජාන නිසා, ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය හානිවීම අඩු කිරීමට හා ගණ හිසකෙස් ඇතිවීමට හේතු වෙන්න පුළුවන් කියා. නමුත් මේ ජාන වලින් ප්‍රොයෝජනවත් වැඩක් වුණාද කියන එකට සාක්ෂි තවම දුර්වලයි.

ඒ අතරම රෝගීන්ගේ දත්ත පරික්ෂා කිරීමෙන්, නියන්ඩතාල් විසින් එකතු කරපු ජාන මගින් මිනිසාට, අස්ථි කැඩී යාම, රුධිර කැටි නොගැසීමේ තත්ත්ව හා නිකොටින් වලට තියන ඇබ්බැහිය ද අපට උරුම කර දීමට දායක වී ඇතැයි සිතනවා.

ඩෙනිසොවානුවන් ටිබේට ජනතාවට එකතු කරපු ජාන නිසා ඔවුනට මුහුදු මට්ටමෙන් ඉතා ඉහල පරිසරයට අනුවතනය වීමේ හැකියාව ලැබුණ වග සිතන්නේ, එම ජාන ඔවුන්ගේ රුධිර ගණ වීම වලක්වන්නට දායක වන නිසා.

තවත් පර්යේෂණයක් මගින් නියන්ඩතාල් ජාන හා ආතතිය, තරබාරුකම සමග ඇති සම්බන්දය හෙළි කර තියනවා. හැබැයි මේවායේ බලපෑම සමහර විට ඉහල වෙන්නත්, සමහර තත්ත්ව වලදී නොසැලකිය හැකි තරම් කුඩා වෙන්නත් හැකිය කියන එකත් ඔවුන් අවධාරණය කරනවා.

ඒ වගේම උතුරු අර්ධගෝල මානව විශේෂ එකතු කරපු ජාන මගින් නුතන මිනිසාට අප්‍රිකාවෙන් පිට පරිසරයේ ජිවත් වීමට අවශ්‍ය ප්‍රතිශක්තිය එකතු කළ වගත් සිතනවා. හැබැයි එහෙම එකතු කරපු සමහර ලක්ෂණ මෙයට අවුරුදු 10 000 කට පමණ එපිට දී ප්‍රයෝජනවත් වුවත්, අද අපේ ජිවන විලාසිතා තේරීම් වලට අහිතරකර ඒවා වන්නට හැකි වගත් බැහැර කෙරෙන්නේ නැහැ.

(නේචර් ඇසුරිණි).

පසු වදන
අපේ සමහර පිරිස් අර ජාතින් කැතය, අප තමා ලස්සනම කියමින් මෝඩ ආතල් ගන්නවා. තවත් අය අපේ “සුපිරිසිදු ජාතිය” කෙසේ හෝ බේරා ගන්න අවශ්‍ය වග නිතර මතක් කරනවා.

මේ පර්යේෂණ වලින් කියවෙන්නේ නූතන මානවයා කියන්නේ මොන තරම් “සුපිරිසිදු” එකෙක් ද යන වග. අපේ පැවැත්ම තහවුරු කර ගන්න හැකි, ලිං වලට බැහැල සිටීමෙන් නොවේ. මල්මි කියනවා වගේ ලෝකය පුරාම විසිරී යාමෙන්. අපේ මුතුන් මිත්තන් එහෙම නොකළා නම් හා වෙනත් මානව විශේෂ සමග මිශ්‍ර නොවුනා නම්, අපේ කතාව සමහර විට මෙයිට වෙනස් ම එකක් වන්නට තිබුණා.

  • සයිබීරියාවේ ප්‍රදේශයක ගුහාවකින් සොයා ගත් ඇටකටු නිසා මොවුනාට මේ නම ලැබී තියේ. එහි කතාව මා වෙන දිනෙක ලියන්නම්.

7 Comments

Filed under Nature, Research & Development