Tag Archives: මාර්ග නීති

සැහැල්ලු කතාවක්! Yes, lighter stuff!


ප්‍රා කියුවනේ ටිකක් සැහැල්ලුවට ලියන්න කියලා. මේ ලියන සියල්ල ටිකක් සැහැල්ලුවට ලියන ඒවා තමා. බරපතල ඒවා ලියන්න මට ඕනේ කමක් නැහැ.

අද සිකුරාදාවක්. වාහනය සර්විස් කරන්න දැම්මා උදේ. මා දන්නේ වතුර හා තෙල් බලන එක විතරයි. ඉන් එහාට ඔය එන්ජිමේ වෙන දේවල් මා එතරම් දන්නේ නැහැ. මෙච්චර “ඉගෙන ගෙන” තියන එකේ, ඕවා ගැන ඉගෙන ගන්න එකත් මහා ලොකු කජ්ජක් නොවේ. හැබැයි, එයට මට ඕනේ කමක් නැහැ. ටයරයක් මාරු කර ගන්න පුළුවන්. ඉතුරු ටික කරදරයක් නැතුව දුවන්න, ඔය අදාළ කාලෙන් කාලෙට තියන සර්විස් කියන ඒවා හරියට මා කර ගන්නවා.

අස්ස ගාණ ගෙවලා වාහනය පාරට දාල ගෙදර පැත්තට ටික දුරක් එනකොට තමා, මතක් වුනේ, දීර්ඝ සති අන්තයක් කියලා. ඒ කියන්නේ දින තුනක්. පාරේදී කරන වැරදි වලටත් ඩබල් පොයිට් කපනවා.

ඔහොම එනකොට තමා, තව දෙයක් මතකයට ආවේ. වෙන මොකවත් නොවේ, ගෙදර තියෙන්නේ කොට විතරයි කියලා. ගෙදර වයින් හැර අනෙක් ජාති මා පුරවා ගන්නේ නැහැ. හෙට මලත්, ගෙදර තියෙන්නේ කොට කෑල්ලක් විතරයි. යකඩෝ, දින තුනක් කොට කෑලි වලින් ගෙවන්න පුලුවන්ද? මා වාහනය ආපසු හැරෙව්වා.

ඔතනදි තමා මා දැක්කේ, මෝටර් සයිකලයක් තියාගෙන ඉන්න පොලිස් කාරයන් දෙන්න. එකෙක් කැමරාව අල්ලනවා. අනෙකා වැරදි කරපු වාහන නවත්වනවා. ඕක මොකක්ද? මා වැරදි කරන කෙනෙක් නොවේනේ.

අර කඩේ ගිහින් ආපසු එන ගමන්, ඉස්සරහා යන යකා හැටේ පාරේ යන්නේ විස්සට වගේ. මොකද බන් කාර් වල යන්නේ. පයින් ගියා නම් හොඳ නේද? ඔහොම හිතන ගමන්, මා අනික් මං තීරුවට වාහනය දැම්මා. ක්ෂනිකයකින්, මට මං තීරු දෙක වෙන් කරන නොකැඩුන රේඛාව වගේම, මෙයට විනාඩි දහයකට කලින්, මෙම ස්ථානයට මීටර 200කින් එහා දැකපු පාරේ මෙයට විරුද්ධ පසට යමින් සිටින විට දුටු, පොලිස් කාරයන් දෙන්නාවත් සිහියට ආව.

“සර්! ඔබගේ පෙනීම කොහොමද?” “අර නොකැඩුන රේඛාව, දකින්න තරම් නම් මගේ පෙනීම හොඳයි, ඒත් ඔබල මීටර 200ක් එහා ඉන්නවා දකින්න තරම් නම් මගේ පෙනීම හොඳ නැහැ” “හැබැයි මා ඔය නිතර ඉරි කඩන කෙනෙක් නම් නොවේ”.

“උඹ දන්නවනේ, මේ ඩබල් පොයින්ට් කපන දීර්ඝ සති අන්තයක් කියලා. එහෙනම්, පරිස්සමින් එළවපන්. උඹට හොඳ සති අන්තයක්”.

මගේ සේවාස්ථානයේ දැනට කරන්න තියන එක පුහුණුවක් තමා, ආරක්ෂාකාරී එළවීම කියන දෙය. වල් අලි නොවේ වාහන. විශේෂයෙන් වෙනස් වන ටෙරේන් වල එලවන කට්ටියට. මෙය දැන් සියලුම දෙනාට අනිවාර්ය කරන්න යන කතාවක් තියනවා.

එය ඇත්තටම නරක පුහුණුවක් නොවේ. අනුන්ගේ වාහනයකින් ගන්න පුළුවන් හොඳ පුහුණුවක්.

ඕස්ට්‍රේලියාවේදී වසරකට මිනිසුන් 1500 ක් දෙනා රථ වාහන අනතුරු නිසා පරලොව යනවා. ඒ කියන්නේ දිනකට 4 ර දෙනෙක්. හැබැයි 1981 වසරේ මිය ගිය 3300 දෙනා හා සසඳන විට මෙය ක්‍රමානුකුල අඩු වීමක්.

වාහන අනතුරු අඩු කර ගන්න විවිධ ක්‍රමවේදයන් අනුගමනය කර තිබෙනවා. ආසන පටි අනිවාර්ය කිරීම, බිලා එලවන කට්ටිය අල්ලන හුස්ම පරික්ෂාව, පොලීසිය යෙදවීම, ජනමාධ්‍ය ප්‍රචාරක වැඩසටහන් සහ ලඟදි පටන් ගත් පුහුණු රියදුරන් සඳහා වන තද නීති ඒවා අතර තියනවා.

එතකොට කොහොමද හොඳ රියදුරේක් වන්නේ? කුසලතාද? ආකල්පද?

උසස් රියදුරු පුහුණවීම් අනිවාර්ය කරපු ඩෙන්මාරකය, පින්ලන්තය, නොර්වේ සහ ස්වීඩනය වගේ රටවල වාහන අනතුරු වල ප්‍රතිඵලය කම්පාකරවන සුළුයි. මෙයින් කියවෙන්නේ මොකක්ද? මට මේ සටහන් වචනයෙන් වචනයට සිංහලට පෙරලන්න අවසරයක් නැහැ.

මහා මාර්ග කියන්නේ රටක යහ පාලනය, රටේ නිතිය ක්‍රියාත්මක වන අයුරු, මිනිසුන්ගේ ආකල්ප, සිම්පති හා එම්පති කියන දේවල්, මිනිසුන්ගේ අසහනය හෝ කොතරම් සතුටින් ඉන්නවද කියන එක, රටේ සංවර්ධනය හා රටක සංවර්ධන සැලැස්ම කියන දේ පෙන්වන කැඩපතක් වගේ.

නලින් මට කතා කරන්න එපා කියල “නීති” දමන රටක, “සමාජවාදී රජයකින්” ගත්තු ණය ඉන්දියන් සාගරයට සේදී ගිහින් තියනවා දැක්කා කියා මා අන්තර් ජාලයේ දැක්කා. ඇත්තද බොරුද කියල මා දන්නේ නැහැ. හැබැයි එක දෙයක් මා දන්නවා, එනම් එක පවුලක් විසින් රටක් පාලනය කිරීම හොඳටම නරක දෙයක් කියලා ඔප්පු කරන්න මේ ලෝකයේ ඕනෙවට වඩා සාක්ෂි තියනවා. රටේ ඉන්න මිනිසුන්ම එක පවුලකට රටේ පාලනය බාර දෙනවා කියන්නේ සියතින්ම ගෙල කපා ගැනීමක් වගේ. තමන්ගේ බෙල්ල කපා ගන්න ආස මිනිසුන් ගැන අධ්‍යයනය කිරීම වෙනම කාර්යයක්.

එවැනි අධ්‍යනයකට ගානක් පාස් කර ගන්න ගන්න බලමුද?

පසු වදන
අබේවර්ධන බාලසුරිය මගේ ප්‍රියතම ගායකයන් අතුරින් එක් අයෙක්. ඒ වගේම දේශපාලන ලේබල නිසා කුසලතා පෙන්වන්න බැරිව කැපී ගිය අයෙක් කියලත් නම් කරන්න පුළුවන්. ඔහු රූපවාහිනිකරණය ගැන ජර්මනියේද කොහෙද ලබා ගත් කුසලතා පසු කාලයේ දේශපාලන කතුරින් කැපී ගියා කියා මා අසා තියනවා.

“කඳුරැල්ලෙන් එහා ගමට ඔබ කැඳවා ගිය මාවත, කඳුළැල්ලෙන් වැසී ගියා”. 😦

16 Comments

Filed under Opinion