Tag Archives: රැකියා

සුවඳැති මල් මෙන් දුගඳැති මල් පිපෙයි එක විලේ!


koaladiet2

වෙනස් විදිහකට සිතන්නට නොහැකි වන්නේ, වෙනසක් ගැන මිනිසුන් දන්නේ නැති නිසා කියන එක අර්ධ සත්‍යයක් පමණයි. මා එහෙම කියන්නේ, වෙනස් විදිහට ජිවත් වෙන්න හැකි පරිසර වලදී පවා, අන්න ඒ මිනිසුන් ජිවත් වන විදිහ දකිනා නිසා. වෙනස්ව සිතන එකා, ඕනෙම පරිසරයකදී වෙනස්ව සිතනවා. අන්න ඒ නිසාම, එයාලට සමහර පරිසර වල වසන්නටත් බැරි වෙනවා. අනෙක් අය වෙනස්ව ජිවත් වෙන්න හැකි පරිසර වලට ඇවිත් පරණ තත්ත්ව උපදවා ගන්නට වෙහෙසෙනවා. මේවා මොනවාද යන්න එලබරේට් කරන්නට මා වෙහෙසෙන්නේ නැහැ. මා සමහර දේවල් මෙහි කලින් ලියා ඇති.

මේ කතන්දරේ ප්‍රධාන කොටස එය නොවේ, මගේ සංවත්සර සටහන ඉදිරියට ගෙන යාමයි. එයට ප්‍රතිචාර දමපු “ඕවර්වෙල්මින් මැජෝරිටිය” මගේ බ්ලොගය ගැන ධනාත්මක අදහසක් ලියා තිබුණේ. සමහරුන්ගේ අදහස් මට සිතා ගන්නට නොහැකි මට්ටමේ කාරුණික එව්වා. සාර්ථක වෘත්තීය දිවියකින් පසුව, විශ්‍රාම ගොස් කල් යවන, විචාරක පවා මගේ සටහන් කියවීමෙන් දැනුමක් ලබා ගන්නවා කීම සැබවින්ම සතුටට කරුණක්. එයට සමාන ප්‍රතිචාර එහි තිබුණා, කලිනුත් ලියපු අය සිටියා. ඔවුන් අතර විවිධ වයස් කාණ්ඩ වලට අයත් පිරිස් ඉන්නවා.

මෙතන මේ ප්‍රතිචාර වලින් මගේ බ්ලොග්ය කියවන අතිමහත් බහුතරය සිතන්නේ කොහොමද කියන එක ගැන කියවන අනෙක් අයටත් වැටහීමක් ඇතිකර ගන්න පුළුවන්. දැන් මේ “අතිමහත් බහුතරය” කියන දේ, අපගේ නියැදිය අනුව වෙනස් වෙනවා. ඒ පිරිස සිංහල බ්ලොග් කියවන අතිමහත් බහුතරය නම් නොවේ. අවුල් ද? ඇත්තටම නැහැ.

දවසක් රසික සමච්චලයට මෙන් ලියා තිබුණේ “හුහ්! එහෙනම් උඹ ලියන්නේ, නිෂ් මාකට් එකකට නේද?” කියල. මගේ පිළිතුර මෙහි නැවත ලියන්නේ නැහැ. මේ සටහන් කියවන පිරිස කියන්නේ මගේ තේරීමක් නොවේ. එය මෙය කියවන පාඨකයන්ගේ තේරීමයි. මේවාට ආස නැතිය කියා මෙහි නැවත නැවතත් ලියන පිරිස් මට සමාන කරන්න පුළුවන්, සියල්ලන්ම හෙළුවෙන් ඉන්න පොදු නාන කාමරයකට, අමුඩ ගහගෙන පැමිණියා වගේ වැඩක් ලෙස. සාමාන්‍යයෙන් අප ඇඳුම් ඇඳීම නේ විනීතකම ලෙස සළකන්නේ. අරම තැනකට ගිය පිරිස් දන්නවා ඇති, එය හැමවිටම සත්‍යයක් නොවන වග.

මගේ සටහන් නීරස කෙනෙක් සිතන්නට අවශ්‍ය දෙයක් තමා, ඇයි එයාට සිතෙන්නේ නැත්ද, එයාගේ සටහන් මට කොයි වගේ ද කියල අහන්න. ඇයි මා ගොඩක් සිංහල බ්ලොග් ප්‍රතිචාර දානවා තියා, කියවන්නේවත් නැත්තේ? මෙන්න මේක අප ගොඩක් වෙලාවට නොසිතන දෙයක්. අපගේ විවිධත්වය තේරුම් නොගැනීම, අපගේ සමාජයේ තියන ප්‍රධාන ප්‍රශ්නයක්. අපට එකිනෙකාව ඉවසන්නට නොහැකිත් මෙන්න මේ නිසා.

අවුරුදු කිහිපයක් තිස්සේ මා ලියමින් ඉන්න, සමාජය පිරී තියෙන්නේ වෙනස් රසවින්දන සහිත පිරිසගෙන්ය කියන මූලික කරුණත්, ඒ නිසාම අප එකිනෙකා උසස්-පහත් ලෙස වර්ග කර නිග්‍රහ කිරීම හොඳ දෙයක් නොවන වගත්. නමුත් රසවින්දනයේ ප්‍රබේද නම් තියනවා. මේ ආහාර ඇසුරින් පවා මා කියන්න උත්සහ කර තියෙන්නේ අන්න ඒ කරුණයි. මා ලොකු දේවල් ලියන වග නොවේ මේ කියන්න හදන්නේ. හැබැයි ඒවා වෙනස්. ලොකු දේවල් ලියන්නට අවශ්‍ය නම්, ඒවාට වෙනත් මාධ්‍ය තියන වග අප හැමෝම දන්නවනේ.

මා කිසිදා දැකල නැහැ, හංසයන් දියෙන් කිරි වෙන් කරලා බොනවා. එහෙම කතාවක් විතරක් අහල තියනවා. අන්න ඒ වගේ ජිවන විලාසිතා තෝරා ගැනීමේදී, අපට අවශ්‍ය හා අවශ්‍ය නොවන දේවල් තෝරා ගැනීමට හැකි විය යුතුයි. මා බොහෝ විට ලියන්නේ, මා විශ්වාස කරන අපට (ඔබ හා මට) තෝරා ගන්න හැකි “යහපත්” ජිවන විලාසිතා ගැන.

මගේ සටහන් කෙනෙකුට (බහුතර සිංහල බ්ලොග් පාඨකයන්ට) නීරස වීම පුදුමයකුත් නොවේ. මා ලියන්නේ, මට අවශ්‍ය නිසා හා එයින් මට ප්‍රයෝජනයක් වෙනවා යයි හිතන නිසා. හැබැයි ප්‍රකාශයට පත් කරන්නේ, අන් අයට කියවීම පිණිස. ඔය තියෙන්නේ මා කලින් ලියපු දෙයක්.

මා ද, රයිගම්ගේ පරණ සටහන් සමහර වෙලාවට කියවනවා. මේවා ගැන මගේ කිසිම කලකිරීමක් නැහැ. ඒවාට ආපු ප්‍රතිචාර වලිනුත් මට පෙනෙනවා, මේ අවුරුදු හතර ඇතුලතත් සමහරුන් ගේ ක්ෂණික වෙනස් වීම්. ඔබටත් දකින්නට හැකි වේවි. මිනිසා වෙනස් වනවා තමා, නමුත් මේ ක්ෂණික වෙනස් වීම් සමහරක් ප්‍රශ්නකාරියි. ඒවා ඇත්ත වෙනස්වීම් ද, නැත්නම් අනුන්ගේ මැහි වල යන වැල් ද යන්නත් තීරණය කිරීමට ඔබටම පවරන්නම්. මේවා හොඳින් නිරීක්ෂණය කලොත් මිසක් දැනෙන එකක් නැහැ.

මේ සටහන් වල නම් එක දෙයක් යටින් ගලනවා. ඒ මොකක් ද කියන එකත් මා විස්තර කරන්නේ නැහැ. සමහර දේවල් මා යලි යලිත් ලියන්නෙත්, කලින් ලියු වග අමතක වීමෙන් නොවේ, හේතුවකට. මේ බ්ලොගය පටන් ගත්තු කාලේ, මා එක තැනක දමපු කොමෙන්ටුව පසුදා තිබුණේ නැහැ. මට තරහා ගියේ නැහැ. කිසි දා ඒ ගැන ප්‍රශ්ණ කෙරුවෙත් නැහැ. මොකද ඒක එයාගේ කැමැත්තනේ. මගේ ප්‍රතිචාරයෙන් කියුවේ, එම සටහනේ තියන විසංවාදී බව. එවැනි දෙයක් පෙන්න දුන්නහම තියා, ලියා තියන භාෂාවේ අවුල් බව කියුවත්, බොහෝ දෙනා හදන්නට උත්සහ නොගන්න වග මා අත්දැකිමෙන් දන්නවා. අන්න ඒ වගේ අයම තමා. ලෝකය වෙනස් කරන්නට වෙහෙසෙන්නේ. එය කරන්නට හැකි දෙයක් නොවේ.

වෙන මොකවත් නිසා නොවේ, අපට වෙන මිනිසුන් හදන්නට නොහැකියි. අපට පුළුවන් අපවම “හදා ගන්න හෝ නොගන්න”. මෙන්න මේකත් මා තදින් විශ්වාස කරන දෙයක්. අදත් විසංවාදී (අද සිංහල බ්ලොග් අඩුවෙන් කියවන නිසා එතරම් පෙනෙන්නේ නැහැ) බව බ්ලොග් වල විතරක් නොවේ, අපගේ ජිවිත වලත් පිරිලා තියන දෙයක්. මගේ සටහන් කියවන අයගේ හා මගේ අතර අදහස් වල වෙනස්කම් ඕනේ තරම් තියනවා. නමුත් එක සමානකමක් නිසා, ඔවුනට මගේ බ්ලොගයත්, මට ඔවුනගේ බ්ලොගුත් කියවන්නට හැකි වී තියනවා කියල මා විශ්වාස කරනවා. එය තමයි මා අර කියුව විසංවාදී බව නොමැතිවීම හෝ අවම බව. මැහි හදන්නේ ගොඩපොර ඉනි වලින්ද, බෝවිටියා ඉනි වලින්ද නැත්නම් වල්ලපට්ට ඉනි වලින් ද කියන එක නොවේ, මගේ ප්‍රධාන පුරස්නය. මේ මැහි ගහල තියෙන්නේ කුමන පැත්තට යන්න ද කියන කරුණ. අනුන් ගහල දෙන මැහි වල යන වැල් ලෝකයේ හැමතැනම තියනවා.

අනික අප හැමවිටම බලාපොරොත්තු වන්නේ, මුළු ලෝකයම අප වටේ කැරකේවිය කියල. කොටින්ම මට අවශ්‍ය දේ තමයි, අනෙක් අය දෙන්න ඕනේ කියන සිතුවිල්ල. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් බිහිවන දොස්තරලා විතරක් නොවේ, අනෙක් උපාධිධාරින්ද (සියල්ලන්ම නොවේ හොඳේ, හැබැයි විශාල පිරිසක්) ඔවුනට විශේෂ වරප්‍රසාද සමාජයෙන් ලැබිය යුතු යයි සිතන්නේ අන්න ඒ නිසා යයි මට සිතෙනවා.

තමන්ගේ අධ්‍යාපනයට මහජන මුදල් දැමීමෙන් පසුවත්, මොවුන්ගේ සමහර දෙනා සිතන්නේ, ඔවුනගේ මුළු ජිවිතයම මහජනතාව විසින් නඩත්තු කළ යුතුයි කියා. සාමාන්‍ය ජනයාත්, මෙහි තියන වරදක් දකින්නේ නැහැ. හැබැයි අප වැනි සංක්‍රමනිකයෙකුට වෛර කරනවා, “නිදහස් අධ්‍යාපනයෙන්” ඉගෙන, රටට ද්‍රෝහී වුණා කියා. මට නම් පෙනෙන සැබෑ ද්‍රෝහී කම, මහජන මුදලින් දෙපයින් නැගිටින්න කුසළතා ලබා දුන්න පසුවත්, රැකියා දියව් කියා උද්ගෝෂණ කර, දෙන රැකියාත් හරියට නොකිරීමයි.

මුදලාලි කෙනෙක් කඩේ වැඩට ගන්න තරුණයා, මගේ මාස තුනේ, පරිවාස කාලයත් ඉවත් කරන්න, මට බඩු කිරණ දේවල්, කඩේ අතුගාන දේවල්, කස්ටමර්ලට බඩු විකුණන දේවල්, රාක්ක ටික පුරවන එක හැර අනෙක් ඕනෙම දෙයක් කරන්නම් කියා කියුවොත්, ඔබ මොකද සිතන්නේ? හරිනං කරන්න තියෙන්නේ මුලික අයිවාසිකම් කඩවුණා කියන්න නොවේ, අතුගාන වැඩේ පවා වෙනස්ව කර, වැඩකරුවන් වග ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමයි.

ලංකාවේ නිලධාරීන් හරියට වැඩ නොකරන වගත් අපට අසන්නට ලැබෙන කරුණක්. හැබැයි අප නොසිතන කරුණක් තමා හරියට වැඩ කරන අයට කොහෙන්ද තල්ලුවක් තියෙන්නේ? ඔවුන්ට වැඩ කරන තැනිනුත් කැපිල්ල. ඊළඟට ඔවුන්ට කැපිල්ල දාන සිස්ටම් එකත්, බහුතර කැමැත්තෙන් ජනතාව පවත්වාගෙන ගෙන යනවා. මෙතැනදී වැඩ කිරීමට දක්ෂ, වෙනස්ව සිතන මිනිසුන් අකර්මන්‍ය වීම පුදුමයක් නම් නොවේ. සාමාන්‍ය ජනයා මොවුන්ව හඳුන්වන්නේ මෝඩයන් ලෙස. ගසා නොකා, අයිස් නොගහන මේ අය “අසාර්ථක” මිනිසුන්ගේ ගොඩට දමල කතා කරන හැටි, මට පවා ඇහිලා තියනවා. වැඩකරුවනට ඉදිරියට එන්නට නොදෙන රටක්, සමාජයක් කිසිදා නැගී සිටින්නේ නැහැ.

//මොක හෝ වේවා, අපගේ ජිවිතයේ යම් සාර්ථකත්වයක් හෝ අසාර්ථකත්වයක් තියනවා නම් එයට හේතුව, අනුන් කරන දේ පසුපස නොගොස්, තමන්ට තේරෙන විදිහට හරිය කියන දේවල් අනුගමනය කිරීමයි// මේත් මා කලින් ලියපු දෙයක්. මේක මගේ බ්ලොගයටත් අදාලයි. නමුත් සමහරුන් ව්‍යංගාර්ථ තේරුම් ගන්නවා අඩුයි.

පලි (මේ ටික අද (23.07.15) එකතු කෙරුවේ)
මලක වුණත් ගඳ හෝ සුවඳ කියන දේ මනුෂ්‍යයාගේ තේරීමක්. නමුත් මලක (හෝ ශාකයක) මූලික අරමුණ, මිනිසාගේ කවි කල්පනා උපදවීම නොවේ. තමන්ගේ පරම්පරාව ඉදිරියට ගෙන යාමයි. මිනිසුන් වන අපත් එකිනෙකාට ආකර්ෂණය හෝ විකර්ෂණය වන්නේ, අපේ තියන බාහිර හා අභ්‍යන්තර ගතිගුණ නිසානේ. මලුත් එහෙමයි. එයාලගේ බලපොරෝතුව සංසේචනයයි. “ගඳ” මල් කියන්නේ, “සුවඳට” කැමති නැති, මැස්සන් ආකර්ෂණය කර ගන්නට ගත්තු සූර උපක්‍රමයක්. හැමෝම “සුවඳ” වුණොත් මොකද වෙන්නේ? කොආලා වැනි සතුන් පවා වෙන කිසිම සතෙකුට කන්න තියා හිතන්නවත් බැරි, යුකැලිප්ටස් කොළ කමින් අවුරුදු මිලියන ගානක් තිස්සේ අභාවයට නොගොස් බේරී ඉන්නවා. මේක ස්වභාව ධර්මයේ මාර “සිතීමක්”. කවුද ස්වභාවධර්මයාට මේ චින්තනය දුන්නේ? මා නිතර සිතන දෙයක්…..! (මේ දිග සටහන ඊයේ ලියුවේ. එහි මාතෘකාව දෙකට කඩල සටහන් දෙකක් නිර්මාණය කෙරුවා. සමහරුන් ඉන්නවා හෙට ලියන දෙයට, අද ප්‍රතිචාර දමන 🙂 ).

මගේ සටහන් වලට අකමැති අයට වඩා, මේවට කැමති සුළු පිරිසට වැඩි අවධානයක් යොමු කරන්න මා කැමතියි. මගේ සටහන් වලින් මට හොඳම එව්වා තමා අඩුම පිරිසක් ඇවිත් විව් කර තියෙන්නේ. මට අනාගතයේ වැඩි කාලයක් ලැබුනොත්, එවැනි සටහන් වල ගණන වැඩි වේවි.

මා බ්ලොග් ලියන්න පටන් ගත්ත වසර හතරකට පෙරට වඩා, අද ‘හොඳ” මිනිහෙක් කියා මට සිතෙනවා. මේක මා මූලිකවම ලියන්නෙත් ඒ නිසා (හැබැයි මගේ වෙනස්වීම කියන්නේ, මේ බ්ලොග් ලිවිම නිසා ඇතිවුන දේවල් නොවේ. එයට බලපෑව වෙනත් බොහෝ දේ තියනවා). එවැනි සිතුවිල්ලක් ඔබට ඇති වනවාද?

22 Comments

Filed under Careers/Employments, Lifestyle, Opinion