මා පසුගිය සටහන් කිහිපය කිහිපය ලියුවේ කලින් තීරණය කරළා නොවේ. බොහෝ සටහන් එසේ වුනත්, විශේෂයෙන් අන්තිම දෙක තුන, එදිනෙදා බ්ලොගයන් හා ඒවායේ කොමෙන්ටු ඇසුරින් මට පහල වුන සිතිවිලි. එයිනුත් අන්තිම සටහන් දෙකට ඇත්තටම පාදක වුනේ මේ සටහනින් කියවෙන දෙය.
දැන් සති දෙකකට පමණ පෙර මට ජිවන දත්ත සටහනක් ලැබුනා. විස්තර වැඩක් නැහැ. එය ලාංකිකයෙකුගේ. කොහොම හරි ජිවන දත්ත සටහන අයිති කෙනා ලංකාවේ අපොස උපෙන් සරසවි වරම් ලබාගෙන නැතිවුවත්, වෙනත් මාර්ග ඔස්සේ ලංකාවේම ඉගෙන ගෙන මුලික උපාධිය පමණක් නොවේ, පශ්චාත් උපාධියක් පවා ඉවර කරපු අයෙක්. ඊට අමතරව උපාධිය අවසන් කරපු අවුරුද්දේ ඉඳන් රැකියාවක් කරපු අයෙක්. එයට අමතරව ඔහු අයදුම් කරපු දෙයට අදාලව වෙනත් දේවල්ද කරලා තියනවා.
ඔහුගේ ජිව දත්ත මට නම් කතන්දර කීපයක් කියල දෙනවා. පළමු එක නම්, අදාළ අවස්ථා තියනවා නම්, අපොස උපේ ඉවර කරන තවත් බොහෝ දෙනෙකුට, ඉහලට ඉගෙන ගැනීමේ හැකියාව හා උවමනාව තියනවා. එවැනි අයට පහසුකම් සැපයීම රජයට අපහසු නම්, පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමේ වරදක් මා දකින්නේ නැහැ. එම දායකත්වය මොන්ටිසෝරි වල ඉඳලා අපොස උපේ දක්වාත්, ඉන් ඉහළටත් යන කම් ලංකාවේ ශිෂ්‍යයන් දැනටමත් ලබා ගන්නවා. අධ්‍යාපනය විවිධාන්ගිකරණයේ එයත් අත්‍යවශ්‍ය අංගයක්. හැබැයි මේ ලියන්න යන්නේ එය නොවේ.
කඩයිම් විභාගයකදී වැඩිම ලකුණු ගැනීම වැදගත් තමා. මොකද එවිට තමා ඔබව, ඒ විභාගයෙන් තෝරා ගැනීමට බලාපොරොත්තු වන දෙයට තේරෙන්නේ. පසුගිය මොරටු කැම්පස් විවි හා අයිටීඑන් සිසුන් අතර ගැටුමේදී මේ සමාජ ජාල ඔස්සේ එලියට ආපු (කලිනුත් අප දැනගෙන හිටිය) ලංකාවේ සරසවි සිසුන්ගේ නියැන්ඩතාල් යයි කිව හැකි ආකල්පයක් තමා, ඔවුන් සමාජයේ ඉන්න අද්විතීය කොට්ටාශයක් කියන එක.
එක අතෙකින් එය ඇත්ත තමා. නමුත් ඔවුන්, තමන්ගේම රටේ සහෝදර ශිෂ්‍ය පිරිසක් සමග සංසන්දනය කර ගනිමින්, ඔවුනට වඩා ඉහල තැනක ඉන්නවා කියල පෙන්නන්න උත්සහ කිරීමක් දැක ගන්න ලැබීම, මට නම් එයාලගේ බුද්ධිමත් කම ගැන සාංකාවක් ඇති කළා. එකිනෙකට වෙනස් පාඨමාලවල් දෙකක් කරන සිසුන් දෙපිරිසක් තියා, එකම පාඨමාලාව හදාරන දෙදෙනෙකු, එක මානයකින් මැනලා සසඳන්න බැහැ. ඒ එක කරුණක්. අනික තමා, අපොස උපේ වලින් සරසවි වරම් තේරෙන හා නොතේරෙන කෙනෙකුගේ වෙනස නිසා, එම තේරෙන සිසුන් අද්විතීය (බුද්ධිමත් බවෙන්) කොටසක් කියා සලකන්න බැහැ. මොකද මේ වෙනස සමහර වෙලාවට ලකුණු දෙකක් තුනක් වෙන්න පුළුවන්. තවත් වෙලාවට ඇත්තටම වැඩිපුර ලකුණු ඇති අයටත් වරම් නොලැබී යන්න පුළුවන්. මේ තෝරා ගැනීම, පහසුකම් මද කම නිසා හදා ගත්ත ක්‍රම වේදයක් පමණයි.
අනික මෙවැනි කඩයිම් විභාගයකදී ඉහල ලකුණු හෝ පහල ලකුණු ගැනීමට බලපාන්නේ දක්ෂතාවය විතරක් නොවේ. දහසක් දේ බලපානවා. උදාහරනෙකට, විභාගයට කලින් සතියේ ඔබගේ සහෝදරයා අතුරුදහන් වුනොත්, ඔබ විභාගයට පෙනී ඉන්නවද? පෙනී හිටියත් ඔබට හොඳින් උත්තර ලියන්න පුලුවන්ද? ඒ කියා ඔබේ ජිවිතයම, යමෙකු විසින් ඒ මතම මනින්න උපයෝගී කර ගන්න එක කොතරම් හොඳ මිනුම් දණ්ඩක්ද?
සරසවි හමාර කරලා, ලංකාවට ඇවිත් මෙවැනි කඩයිම් විභාග තුන හතරකට මාත් ලියුවා. එක රජයේ පර්යේෂණ ආයතනයක පුරප්පාඩු තුනක් පුරවන්න සුදුස්සන් තෝරා ගන්න මෙවැනි තරඟ විභාගයක් තිබුනා. තිස් හත් දෙනෙකු විභාගයට, පසු සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබුනා. තුන් දෙනෙකුගේ පුරප්පාඩු පුරවන්න තරඟ විභාගයක් තියලා තිස් හත් දෙනෙකු සම්මුඛ පරික්ෂණයට කැඳවීමේ තේරුම කුමක්ද? මේ ජනාධිපති ප්‍රේමදාස විසින් කොමිසමක නිර්දේශ අනුව ක්‍රියාත්මක කළ “සුදුස්සාට සුදුසු තැන” දෙන වැඩ සටහනක, වෙන ජනාධිපති වරියක් යටතේ මල ගමන් ගිය කාලයක අවසාන අදියර. මෙවැනි දේවල් වලට විස්සෝප වෙමින්, නිකරුනේ කල් ගත කිරීමෙන් කිසිවෙකුට වැඩක් නැහැ. අප යහපාලනය කියන දෙය පිහිටුවා ගන්න ඕනේ තමා. හැබැයි එය ඉබේම පහල වෙන දෙයක් නොවේ.
ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ පාසලක් තෝරා ගන්න අවස්තාව දෙනවා කියන්නේ ඔබ එය අනිවාර්යයෙන් ගන්න ඕනේ කියන එක නොවේ. ශිෂ්‍යත්වය කියන්නේ ඔබගේ දක්ෂතාවයට වෙනත් අයට නොලැබෙන අවස්තාවක් දීමක්. ගාල්ලේ ඉඳන් කොළඹ උදේ හවස ඇවිත්, අරුන් මට ශිෂ්‍යත්වයක් දුන් හින්දා මගේ මුළු පාසල් කාලයම විනාශ වුනා කියල කෙනෙක් කියනවා නම් වැරැද්ද කාගේද?
ඒ වගේම අපට පාසලේදී ඉංගිරිසි හරියට ඉගැන්නුවේ නැහැ, අපේ සිංහල ගුරුතුමා ඉංගිරිසි දන්නේ නැහැ යනාදී වශයෙන් ඉදිරිපත් කෙරෙන සමාවට කාරනා මොන තරම් “වැලිඩ්” ද කියලා හිතා ගැනීම ඔබලාටම බාර කරන්නම්. මේ ගැන මගේ අත්දැකීම් කලින් ලියා තියනවා. ආණ්ඩුව මට ශිෂ්‍යත්වයක් දීලා, මගේ මුළු ඉගෙනිමම කඩාකප්පල් කළා කියන අය ඉන්න තාක් කල් ඒ සමාජයට යහපතක් වන්නේ නැහැ.
සරසවි තේරෙන පිරිස් තමන්, සමාජයේ වරප්‍රසාද අයිති විය යුතු කොටසක් සේ හිතීම ලංකාවේ තියන විකුර්තියක් ලෙස මා දකිනවා. සරසවි කාලයේ කෙරෙන නොයෙකුත් විගඩම් වලටත් මෙය හේතුවක් වෙනවා. ගොඩක් වෙලාවට මේ විගඩම් පසු පස ඉන්නේ කිසිම ඉගෙනීමක් නැති පිරිස්.
ඕනෙම රටක සරසවියට තේරීමට සෑහෙන දක්ෂතාවයක් තිබිය යුතුයි. සරසවි ඉගෙනීම නිදහස් නම් එයම වරප්‍රසාදයක් කියා කියන්න පුළුවන්. එහෙම තේරෙන පිරිස් කළ යුත්තේ එහි උපරිම ප්‍රයෝජනය ගැනීමයි. ලෝකයේ කොතැනක හෝ සමාජයේ වඩා හොඳ ජිවන විලාසිතාවක් ගත කරන්න පමණක් නොවේ, ජිවිතයේ අනෙක් කාලයත් ජනහිත කාමියෙක් ලෙස ජිවත් වීමට එමගින් අවස්තාව උදා කර ගන්න පුළුවන්. සරසවි කාලයේ මහා ජනහිතකාමීන්, ජිවිතයේ පසු කාලයක (අපේක්ෂා භංගත්වය හෝ වෙනත් හේතු නිසා) දුෂ්ටයන් බවට පත් වෙන එක අපට නිතර අහන්න ලැබෙන දෙයක්.
සරසවි පමණක් නොවේ හැම ඉගෙනීමකම අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජිවන තත්වය ඉහල දමා ගැනීමයි. එමගින් අදහස් වන්නේ සමාජයේ ජිවන තත්වයද උසස් වීමයි. එවැනි පිරිස් වලට තමා යහ පාලනයක් අවශ්‍ය වන්නේත්.