Tag Archives: විශ්ව විද්‍යාල

ලබු කිරිබත් සමග පුහුල් දෝසි!


අර කතාවක් තියෙන්නේ ලබ්බට තැබූ, අත තමයි පුහුලටත් කියා. ඕක මුලින්ම කියාලා තියෙන්නේ හිමාලයේ ජිවත් වුන පුරාණ ඉරිසිවරුන්. හැබැයි ඉතිං අදටත් වලංගුයි.

අපේ සංක්‍රමනිකයන්ගෙන් සමහර දෙනා ජිවත් වන රටේ පුරවැසිභාවය ගන්නේ නැහැ. හේතු ගොඩක් තියෙන්න පුළුවන්. හැබැයි වැට උඩ ඉන්න එකත් එක හේතුවක්. කවදා හෝ තමන් ආපු රටට යන්න බලාගෙන ඉන්නවා. හැබැයි ඉතිං මැරිලා යනකම්ම යන්නේ නැහැ. එහි ඇති වැරැද්දක් නැහැ. තමන්ගේම කැමැත්තනේ.

හැබැයි සමහර මේ අයියල, තමන්ගේ රටේ සමාජවාදයක් ඇති කරන්න කැපවුන කට්ටිය. ඒ අයත්, එහෙම නොවන අයගෙනුත් අතර ඉන්නවා, මේ රටවල් වල නරක කියමින් අඬමින් ජිවත් වන අයියල පිරිසක්. මෙතන තමා මා කියන දෙපිටකාට්ටු ගතිය මතු වන්නේ.

ගිය සතියේ ඉදිරිපත්වුන නව රජයේ අයවැයට නොයෙකුත් ඇති විවේචන එල්ල වුනා. එයින් ප්‍රධානම විවේචනය තමා, මෙතෙක් ඕස්ට්‍රේලියාවේ තිබුන සමාජ සංරක්ෂණ පද්ධතිය විනාශ කරන්න අඩිතාලම දමන එකක් ලෙස මෙය හැඳින්වීම. විශේෂයෙන් විශ්‍රාමිකයන්, රැකියා විරහිතයන්, ආබාධිතයන් නොසලකමින්, වඩාත් ඇති හැකි අයට හා සමාගම් වලට හිතකාමී එකක් යයි කීම. අනෙක තමා යුනිවර්සල් සෞඛ්‍ය සේවයට එකතු කරපු නව කොන්දේසි.මේවාට අමතරව විද්‍යා හා පර්යේෂණ වලට වෙන් කරන්න තිබුන මුදල් හා පාසල් හා සරසවි අධ්‍යාපනයට වෙන් කරන්න තුබුන මුදල් කපා හැර තිබුනා.

ප්‍රජාතන්ත්‍රවාදයේ බහුතර මහජන මතය කියන්නේ, එක ලොබි ගෘප් එකක් පමණයි. බොහෝ වෙලාවට ඔය අනෙක් ලොබි ගෘප් විසින් බහුතර මතය යට යවන වෙලාවල් තියනවා. මර්ඩොක් අයියා, ජේම්ස් අයියා වගේ කට්ටිය ඇතුලතින් මේ පාලනයට කරන බලපෑම අපට පෙනුනේ නැති වුනත්, එය සුළු පටු වෙන්න බැහැ. ඒ වගේම තමා අනික් පාර්ශවයට වෘත්තීය සමිති යනාදිය එල්ල කරන බලපෑම. ඇයි ඉතිං ඇමෙරිකාව? එයාලත් ඉන්නවා. මොනවා කැපුවත් ජෙට් ගන්න මුදල් වෙන් කරන්නේ ඒකයි. ඔය අවුඅස්සේ තමා, ඕස්ට්‍රේලියාව මෙහෙට එන අනාථයන් කාම්බෝජයට පිටත් කරන්නේ.දැක්කනේ වැඩේ. මේවා සියල්ල දෙස බලන්න ඕනේ සාපේක්ෂව.

නිව් සවුත් වෙල්ස ප්‍රාන්තයේ පසුගිය දිනවල කෙරුණු, දුෂණයට එරෙහි ස්වාධීන කොමිසමේ (ICAC) ගවේෂණ වලට මතුවුණ කරුණු වලට අනුව ලොබි ගෘප්/සමාගම් කාරයන්ගේ යටි වැඩ කොහොමද කියා මතු වුනා. චන්දයෙන් පත්වුණ ප්‍රාන්ත අගමැතිවරයාට ගෙදර යන්න වුනේ, ඩොලර් 3000ක වයින් බෝතලයක් නිසා වුනත්, එය එයිට ගොඩක් දුර යනවා.අඩුම ගානේ එවැනි ඉල්ලා අස්වීමක් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මෙතෙක් දුර ස්ථාපිත රටක විතරයි. ඒ වගේම එවැනි කොමිසමක් ක්‍රියාත්මක වන්නේත්, මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක විතරයි.

පෙඩරල් තලයේත් මෙවැනි බලපෑම් නැහැයි කියා පිළිගන්න බැහැ. හිටපු පෙඩරල් ස්වාධින පාර්ලිමේන්තු මන්ත්‍රී රොබ් ඔක්ශෝට්ගේ පළ කිරීමට නියමිත අතීත මතක සටහන් පොතේ, ඔය ලංකාවත් සංවර්ධනය කරන්න යන ජේම්ස් පැකර් අයියාගේ ගේ බලපෑම් ගැන සඳහනක් තියනවා කියා අද පත්තරේ තිබුනා.

හැබැයි මෙවැනි බලපෑම් යටතේ වුනත්, “බහුතර මහජන මතය” කියන එක තමන්ගේ පැත්තේ නැත්නම්, පාලනය ගෙන යන්න බැහැ. ඒ කියන්නේ ඇජෙන්ඩ එක ක්‍රියාත්මක කරන්න බැහැ. විශේෂයෙන් චන්දය දැමීම අනිවාර්ය හා අවුරුදු තුනෙන් තුනට මැතිවරණ තියන ඕස්ට්‍රේලියාවේ.

නව රජයේ අලුත් අයවැය යෝජනා වල එකක් තමා, මෙහෙ විශ්ව විද්‍යාල පද්ධතියට බලපාන නීති ලිහිල් කිරීම. මේ යටතේ දැනට පාලනයකට යටත් කර තියන, පාඨමාලා ගාස්තු එම පාලනයෙන් මුදා හරිනවා. එවිට ඒ ඒ විශ්ව විද්‍යාල වලට පුළුවන්, තමන් පාඨමාලා වලට අයකරන ගාස්තු තීරණය කරන්න.

මේ ගැන විද්වතුන් හා විශ්ව විද්‍යාල වල ආචාර්ය හා පරිපාලකයන් විතරක් නොවේ ශිෂ්‍යයන්ද විරෝධතා, අනුකූලතා හා සංශෝදන ඉදිරිපත් කළා.මේ යෝජනා පහල මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත වුනාට පසු සෙනෙට් සභාවෙන්ද අනුමත වෙන්න ඕනේ. මේ ජූලි මසින් පසුව එහි බහුතර බලය ආණ්ඩු පක්ෂයට නොමැති නිසා, මෙම සියලුම යෝජනා කොයි ආකාරයෙන් සම්මත වේදැයි තවම කියන්න බැහැ.

මා ලියන්නේ පියෙකු වශයෙන් මා දකින ආකාරය. මොවුන් යෝජනා කරන පරිදි නීති ලිහිල් කිරීම නිසා, තරඟය වැඩි වීමෙන්, සිසුන්ට වාසි වෙනවා යයි කියන කතාව නම් විහිළුවක්. දැනට මේ බැංකු ගොඩක් තියනවා. නමුත් ඒවායේ තරඟය නිසා අපට ලොකු වාසියක් නැහැ. ඒ වගේම තමා සුපර්මාර්කට් කිහිපයක් තිබීම. පොඩි වාසියක් තියනවා තමයි. හැබැයි එය හරිම සීමිතයි. මේ වෙළඳපොලේ ඒකීය පාරිභෝගිකයාට එහෙම තරඟයෙන් ලොකු වාසියක් එන්නේ නැහැ. මේවා ගැන පොත් බලා ලියන්න පුළුවන්. ඒවාට නොයා පේන්න තියන දේ ලියමු.

දැන් මේ ගොල්ලෝ කියන ලෝකයේ “හොඳම” ඇමෙරිකානු ක්‍රමයට ගියොත්, අනාගතයේ අපේ පුතාලට සරසවි ඉගෙනීම් කියන්නේ වරම් නැති දෙයක් වෙනවා. උදාහරණයකට, ඔය හාර්වර්ඩ් සරසවියේ උපාධිධාරී පාඨමාලා හදාරන 46% කට කිට්ටු සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ, සමාජයේ ඉහලම ආදායම් ලබන 4% ක ගේ පවුල් වල දරුවන්. ඇමෙරිකාවේ තියන ඔය අනෙක් “පොඩි ආයතන” අය කරන ගාණත්, ඒවායේ අධ්‍යාපනයත් “දන්නෝ දනිති”. එහි තියන සෞඛ්‍ය සේවාව ගැන අමුතුවෙන් ලියන්නත් ඕනේ නැහැ. මේ යෝජනා කරන්නේ සරසවි විතරක් නොවේ සමාජ ක්‍රමයත් ඇමෙරිකානුකරණය කිරීමට. සමාජයකට එයිට වඩා ව්‍යසනයක් කිරීමට කාටවත් පුළුවන් කමක් ඇතිය කියා මා නම් හිතන්නේ නැහැ.

අධ්‍යාපනය කියන්නේ සමාජ මට්ටම් තුලනය කිරීමේ ලොකුම ආයුධය. අප පවා අද ඉන්න තැන ඉන්නේ අපගේ අධ්‍යාපනය නිසා. මා “සමාජවාදී” රටක අධ්‍යාපනය ලබා ධනවාදී රටක ජිවත් වනවා. අධ්‍යාපනය කියන්නේ අන්න ඒක.

අධ්‍යාපනය සාමාන්‍ය මධ්‍යම පන්තියට දරා ගන්නට පුළුවන් මට්ටමක තිබීම, සමාජයේ තියෙන්නට පුළුවන් හොඳම ආරක්ෂණයක්. එවැනි දෙයක් වෙනස් කිරීම දිර්ඝකාලින වශයෙන් සමාජයට යහපතක් කරන්නේ නැහැ. සාමාන්‍ය පන්තියට විතරක් නොවේ, ධනපති සමාජයටත්.

දැන් මා කියන්න හැදුවේ, තමන්ගේ දරුවන් ටියුෂන් යවන අම්මල-තාත්තලා මේවා ගැන හිතනවද? තමන් ජිවත් නොවන රටක සමාජවාදය ඇතිකරන්නට වෙහෙසෙන සමහරුන්, මා අර කලින් කියුව, බහුතර මහජන මතයට දායක වෙන්න තියන අවස්තාව ප්‍රයෝජනයට ගන්නවාද? මේවා දරුවන් ටියුෂන් යවන එකට වඩා තීරණාත්මක වන්න පුළුවන්, ඔබේ දරුවන්ගේ අනාගත අධ්‍යාපනයට.

ප.ලි.
ලංකාවේ අපේ සිංහල කියවන බොහෝ දෙනාත් ඔය මානව විරෝධී රිපබ්ලිකන්වාදීන්ව දෙවියන්ට වගේ සලකනවා. මොවුන්ව සමහරුන් හඳුන්වන්නේ උඩුගම් බලා පිහිනන්නන් වශයෙන්. මේවා නම් හරි විහිළු. එයාලව උඩින් තියාගෙන ඉන්න සමහරක් බ්ලොග් ලියන්නන්, මගේ බ්ලොගයත් ඒ ලිස්ට් එකේ තියා ගැනීම ගැන මට දැනෙන්නේ පිළිකුලක් විතරයි. ඔවුන් සමග සැසඳීමේදී මා අගමැති ජෝන් හාර්වර්ඩ් පවා සලකන්නේ වඩා හොඳ මිනිසෙකු විදිහට. මේ ලෝක තුනේම ජිවත් වුන මා, ඕස්ට්‍රේලියාව හොඳ රටක් හා ඕස්ට්‍රේලියානු සමාජය හොඳ එකක් ලෙස සලකන්නේ ඒ නිසාමයි.

4 Comments

Filed under Education, Opinion