Tag Archives: සංක්‍රමණික ජිවිත

ගෙදරදීම තෙල් හිඳ ගැනීම පියවරෙන් පියවරට!


මාත් ගිහින් යාලුවෙකුගේ ගෙදර නැවතුනා. හපොයි උන් කන්න දුන්නේ මැලිබන් බිස්කටුයි, ලුණුමිරිසුයි කිරිබතුයි. ලංකාවෙන් ඇවිත් සංක්‍රමණික යෙකුගේ ගෙදර නැවතී, ආපසු ලංකාවට ගොස් ඔහොම කියපු කතා ගොඩක් තියනවනේ. හැබැයි, ඒ කවුරුන් හෝ මැලිබන් බිස්කට් උඹලම කාපල්ලා, කියා හෝටලයකට ගොස් නැවතී, එහි මෙන්න මෙව්වා කෑව කියා කිසි දිනක විස්තරයක් නම් දමල නැහැ.

ඔය වගේ කතා කියන අය කී දෙනෙකුට එයාල දන්නා දේශීය කෑම කොතරම් ප්‍රමාණයක් උයන්න හැකිද කියල ඇහුවොත්, සමහරවිට ගොළු වේවි. ලංකාවේ හෝ වෙන රටක හෝ තියන ආහාර කන්න නම් උයන්නත් ඕනිනේ. දැන් මෙයාල මේ බලාපොරොත්තුවන්නේ තමන් ජිවිත කාලය තුල නොවුගත් දේ, පිටරට ගිහින් වෙන කෙනෙකු කරාවි කියානේ. හැබැයි තමන්ගේ පිරිමි යාලුවා නම් නොවේ.

ලෝකයේ වෙනස් කරන්න බැරි දේවල් දවසෙම කතා කරන්න කැමති අප, අපට වෙනස් කරන්න හැකි දේවල් ගැන ගොඩක් වෙලාවට උනන්දු වන්නේ නැහැ. නුතන දිවියේ අප සාමාන්‍යයෙන් කරන හෝ නොකරන අයහපත් පුරුදු (මධ්‍යම පන්තික) ටිකක් මා මෙසේ පෙළ ගස්වනවා; ප්‍රමාණවත් තරම් වතුර නොබීම, සීනි කෑම (බිස්කට්, ටොෆි, චොක්ලට්, සීනි), එළවලු හා පළතුරු ප්‍රමාණවත් තරම් නොකෑම, ව්‍යායාම නොමැති අලස දිවිය, ආහාර වේල් අතර කෑම, ලුණු වැඩිපුර දමපු ආහාර ගැනීම, මත්පැන් හා සිගරට් පාවිච්චිය. ඔය අතරින් අන්තිම එක හැර අනික් සියලුම දේවල් හැමෝම වගේ කරන දේවල්. ඔබට නැවත සිතා බලන්න පුළුවන්.

ඔය අතරින් සීනි හා ලුණු කියන දේවල් වෙළෙඳපොළ විසින් බලෙන් අපේ දිවිය මත පටවපු දේවල් වෙන්නත් පුළුවන්. ඔය දෙකම එක අතකට ඇබ්බැහි කාරක වගේම, ඒවා වැඩියෙන් දමපු රසයට දිව හුරු වූ විට, ආපසු ගමන අසීරු වෙනවා. ඒ නිසා සමහර නිෂ්පාදන ආයතන, මිනිසුන් එයාලගේ නිෂ්පාදන වලට අද්ද ගන්නත්, බැඳ තබා ගන්නත් සීනි හා ලුණු භාවිතා කරනවා. එයිට අමතරව, ගෙදරදී මේ දේවල් වලට වැඩියෙන් හුරු වුනු පසු ආපසු ගමනක් නැහැ.

වතුර ඇති පමණ බොන එක ගැන ඔබ හිතා තියනවද? දිනකට වතුර විදුරු (300ml) අටක් හෝ දහයක් බොන්න ඕනිනේ. වෙනත් දියර වර්ගත් ඒ අතරට අයත් වෙන්න පුළුවන් කියා කියුවත්, මා හිතන්නේ වතුර විදුරු විතරක් හයක් – අටක් දිනකට බීම හොඳ පුරුද්දක් කියා. හැබැයි, ඔබ කොතරම් වතුර බොනවද කියා දිනක් ගණනය කර බලන්න. දිනකට වතුර විදුරු 10ක් බීම චැලේන්ජ් එකක්. රස්සාවක් කරනවා නම්, තවත් අමාරුයි.

එළවලු හා පළතුරු නොකෑම සමහර විට ඒවා ප්‍රමාණවත් අයුරින් මිලදී ගන්න නොහැකියාව හෝ වෙළඳපොලේ නැතිකම මතත් රඳා පවතින්න පුළුවන් වුවත්, මා කියන්නේ, මිනිසුන් මේවට කැමැත්තක් නැති නිසා නොකෑම ගැනයි. එළවලු හා පලතුරු ගත්තොත්, කිසිම ඉවිමකට භාජනය නොකරපුවා කන එකත්, අප කරන්නම ඕනි දෙයක් කියා මා හිතනවා.

අලස දිවිය නැතිනම් ව්‍යායාම් නොමැති කම ගැන කියන්න දෙයකුත් නැහැනේ. හැබැයි අලස නොවන කෙනෙක් පවා, ව්‍යායාම් නොමැති කෙනෙක් වන්න පුළුවන්. මා කියන්නේ දිනකට හෝ සතියකට තෝරා ගත්ත වෙලාවක් ඒ වෙනුවෙන් ගත කිරීමයි. වැඩට යන්න ඇවිදීම හෝ පඩිපෙළවල් නැගීම වගේ දේවල් මේ ගොඩට අයත් නැහැ.

දැන් ඔය සේරම දේවල් කරලා වෙලාව ඉතිරි වුණොත්, වංගෙඩි වලින් පිටි කොටා ගැනීම, හාල් ගරා ගැනීම, තෙල් හිඳ ගැනීම වගේ විනෝද කටයුතු වල නිරත වන්නට හැකියි. හැබැයි ඒවාත් ගෙදර ගැහැනුන්ට නොපරවා, තමනුත් කරනවා නම් තමා විනෝදය වැඩි වන්නේ.

6 Comments

Filed under Food