මේ සටහන නොලියන්න හිතලත්, යලිත් හිතුනා ලියනවා කියා. මොකද උදේම දුටුවේ වර්ඩ්ප්‍රෙස් කුසලානය රතු පාටින් මෙහි කොනක තියනවා. යමක් එක දිගට කරගෙන යාම කොතරම් අපහසුද කියල ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ජීවත්වීම මොහොතකට අමතක කරමු. ජීවත්වීම පිණිස රැකියාවක් කරගෙන යාමත් ලෙහෙසි දෙයක් නොවේ.
හැබැයි රැකියාවක් කරන විට අපට පොඩි තල්ලුවක් තියනවා. මොකද මා කලින් අමතක කරමු කියුව, ජීවත් අවශ්‍ය ප්‍රතිපාදන එයින් සපයන නිසා. එතැනදී ආදායම කියන දේ අපට උත්තේජනයක් දෙනවා. එක අතකට ජිවිතයේ අප කරන බොහෝ දේවල් වල අන්තිම බලාපොරොත්තුව ජිවත් වීම පිණිස කීයක් හෝ සොයා ගැනීමයි.
එවැනි නිශ්චිත කුසලතාවයක් අයත් කර ගැනීමට නොවන බොහෝ දේවල් අප කරනවා විනෝදාංශ ලෙස. මා බ්ලොග් එකක් ලියන්නට පටන් ගත්තෙත්, එම පටන් ගත්තු කාලයේ ලැබුන විවේක හිඩැසක් පුරවන්නට. කලක් යත්දී එය පුරුද්දක් බවටත් පත් වුවා. ජීවිතයට අයහපත් ප්‍රතිඵල අත්කර නොදෙන පුරුදු පවත්වාගෙන යාමේ වරදක් මා දකින්නේ නැහැ.
වසර පහක් කියන්නේ පරමායුෂ වළඳන කෙනෙකුගෙන් වුවත් ජිවිතයෙන් ලොකු කාලයක්. නිතරම සෙමින් වෙනස් වන අපට, එය සෙමින් වන නිසා ලොකුවට දැනෙන්නේ නැහැ. හැබැයි ජිවිතයේ කලින් සිටි කාලයකට, මනසින් නැවත ගියොත්, එදා හා අද අප සිතන අයුරු, වැඩ කරන අයුරු, දරුවන්, බිරිඳ, සැමියා, අම්ම, තාත්ත යනාදී සමීප ඥාතියන් හා සමාජයේ අනික් පිරිස් සමග ආශ්‍රය කරන හැටි වෙනස් වෙලා තියන හැටි ගැන යම් අවබෝධයක් ගන්නට හැකියි.
ඇත්තටම මෙහෙම ජිවත් වෙයල්ලා කියල අන් අයට කියා දීම නිරර්ථක කාරියක්. මෙතැනදී හැමෝටම කැමති විදිහට ජිවත් වෙන්න දෙන්න නොහැකි වගත් අමතක කරන්න එපා. නීති-රීති, සම්ප්‍රදායයන් හා තවත් නොයෙක් සීමා මනුෂ්‍ය සමාජයේ තියෙන්නේ, මිනිසාට සිතන්නට හැකි නිසාමයි. පරිනාම පරිණාම ක්‍රියාවලිය සත්‍යයක් නම්, මිනිසාත් අනික් සතුන්ගේ හැසිරීමේ සිට වෙනස් වෙලා අද ඉන්න තත්වයට ඇවිත් තියන හැටි, අපටම සිතා ගන්න බැරි තරම් විශ්වකර්ම වැඩක්. ඉබේම මෙහෙම ක්‍රියාවලියක් සිදු වන්නේ කොහොමද කියන එක එයිටත් වඩා මොලේ කුරුවල් වෙන ප්‍රශ්නයක්.
මිනිසා ගත්තත් මේ මොහොතේ ඉන්න මිනිසා කියන්නේ මේ ක්‍රියාවලියේ අවසාන නිෂ්පාදනය නොවේනේ. මොකද එය නිරන්තර ක්‍රියාවලිය බව සිතන්න පුළුවන්. අපේ ජිවිතයද මෙහෙමයි. අද මා කියන්නේ, මගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක කියා මා විශ්වාස කරන්නේ නැහැ. මේ බ්ලොගය ලියූ මුල් කාලය හා අද සංසන්දනය කිරීමෙන්, මට එය ඔබට කියන්න හැකියි.
සමූහයක් ලෙස ජිවත් වීමේදී, අප තනිව ජිවත් වන අතර, අනුන් සමගත් වැඩ කරන්නේ කොහොමද කියන ක්‍රමවේදය සාදා ගැනීමේදී, දැනට පරිණාමය වෙලා ඇවිත් තියන බහුතර කැමැත්තට ඉඩ දීමේ ක්‍රමය, එනම් ප්‍රජාතන්ත්‍රවාදය මා හිතන්නේ හොඳම ක්‍රමය යයි කියා. මිනිසාගේ ඉතිරිව ඇති සහජ අඩුපාඩුකම් නිසා, මේ ක්‍රමයත් එලෙසම ක්‍රියාත්මක නොවන වගත් අප දන්නවනේ. ඒ කියන්නේ බහුතරයේ මතය වෙන ආකාර වලින් කුඩා කල්ලි විසින් යටපත් කිරීම.
එතැනදී ඔබ සිතන්න හැකියි, ඔව් ඉතින් බහුතරය කියන්නෙත් නිවැරදි මතය නොවේනේ කියා. එතැනදී යලිත් අප අමතක කරනවා, ඒ නිවැරදි මතය කියා අප සිතන දේ, අපට තේරුම් ගන්න හැකි කරුණු අනුව එන නිගමනය. අර වැරදිය කියන බහුතර මතය පවා එහෙමයි. ඒ එයාල තේරුම් ගන්න හැකි කරුණු වලට එයාල එන නිගමනය. මෙතැනදී කුඩා පිරිසක් විසින් බලෙන් තමන් හිතන “නිවැරදි මතය” අනික් අයට බලෙන් පැටවීමට යාමේදී, වන විනාශය හැම විටම වැඩියි කියා මනුෂ්‍ය ඉතිහාසය කියා දෙනවා.
මා ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි කියන්නේ ඒ අරුතින්. එය අප ජිවත් වන්නේ කුමන රටකද, සමාජ පරිනාමයේ කොයි අවධියකද ඉන්නේ යන්න අනුව වෙනස් වන්නේ නැහැ.
මිනිසා, හැඟීම් නොමැති නමුත් තර්කානුකුලව සිතන්නට හැකි යන්ත්‍ර බිහිකරපු යම් දිනයක, අපගේ දියුණුවට වඩාත් ගැලපෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ඔවුනට පවරන්න හැකියි. එහෙම දිනයකුත් (අපගේ විනාශය අපම ලඟා කර නොගතහොත්) අනාගතයේ ඒවි කියා මා සිතනවා.
මගේ ජිවිතයට යලිත් ආවොත්, තියන සීමිත අවකාශය ඇතුලත, මා ජිවත් වන්න කැමති අන්දමට ජිවත් වෙන්න මා උත්සහ කරනවා. විවාහ ජීවිතය, දරුවන් සැදීම, රැකියාව හා තවත් නොයෙක් දේවල් එයට අයිතියි.
මා නිතරම කියන පරිදි හා උඩත් ලියුව පරිදි අනුන්ට මෙහෙම ජිවත් වෙයල්ලා කියා දේශනා කිරීම නිරර්ථකයි. හැබැයි මාත් දකින අසන හා විඳින දේවල් අනුව (ඒ කියන්නේ අනුන්ගේ අත්දැකීම්) වලින් වෙනස් වෙනවා. එතන තියන වැදගත්ම දේ ඒ වෙනස් වන්නේ අනුන්ට ඕනේ නිසා නොවේ, මට ඕනේ යයි හැඟෙන හෝ හැඟුණ නිසා.
පස් වසරක් මගේ වල්පල් කියවූ ඔබට මගේ ආදර ස්තුතිය.
චායාරූපය මා හිතාදර රසික සුරියආරච්චි මැතිතුමා ගේ අනුග්‍රහයෙනි.
( Photo credit to my beloved friend, Rasika Suriyaarachchi).