Tag Archives: සාහිත්‍ය

අවිචාර සමය! How To Kill a Mockingbird?


මෑත කාලයේ මා දුටු දේවල් ඇසුරින් මෙවැනි දෙයක් ලියන්න සිතුනේ. මා අද පළ වෙන සිංහල විචාර කියවන්නේ නැති වග මුලින්ම මතක් කරන්නට අවශ්‍යයි. වෙන දෙයක් නිසා නොවේ, ඒවාට අසුවන කෘති හෝ නිර්මාණත් මා නොකියවන හෝ නොබලන හෝ නොඅසන නිසා. පොදු නොවන, එක නිර්මාණයකට විතරක් අදාළ වන විචාර කියවිය යුත්තේ අදාල නිර්මාණය සමගයි. එම නිර්මාණය මොකක්ද කියා දන්නේ නැත්නම්, මේවා එතරම් වැදගත් නැහැ.

හැබැයි අප පාසල් යන කාලයේ පත්තර වල ගිය විචාර පමණක් නොවේ, වික්‍රමසිංහ, ගුණසිංහ, සරත්චන්ද්‍ර, විමල් දිසානායක, ගම්ලත් ආදී වශයෙන් සිංහලයෙන් විචාර කෘති පළ කරපු බොහෝ දෙනා ලියපු දේවල් කියෙව්වා. මේවායින් සමහර දේවල් එදා අපට තේරුනේ නැහැ. තවත් සමහරක් සමග එකඟ වුණේ නැහැ. හැබැයි වයසින් මුහුකුරා යත්ම ඒ සියල්ල නිසා අප සිතන පතන විදිහ හැඩගස්වා තියනවා කියා අද තේරෙනවා.

අදා මා මහා විචාර කෘති කියවන්නේ නැහැ (අප “ලිට්‍රේචර් රිවිව්” යනුවෙන් අද කරන්නේ සාහිත්‍යය විචාරයක් නොවේ). හැබැයි මෙහෙ පත්තර යන කුඩා සාහිත්‍ය, සිනමා විචාර කියවනවා. මේවා සමග එකඟ වන්න හෝ නොවන්න අපට අයිතිය ඔය කවුද කියන්නා වගේ තියනවා. සමාජයේ බොහෝ දේවල් එසේමයි. මා මේ ලියන්නේ, මා එකඟ වන දේවල් ගැනනේ බොහෝ විට. ඉතිං අන් අය එසේ නොවන වග අපට යෝජනා කරන්න නොහැකියි.

අර මට දකින්න ලැබුන දේවල් වලින් සමහරක් මෙසේයි. එනම් කාල් මාක්ස් කියන්නේ හිඟන කමින් මියගිය අයෙක්. ලෙනින් මියගියේ අහවල් ලෙඩෙන්. ඔය පොත් කියවුවොත්, අනාගතයේ ගණිකාවන් පවා පොත් ලියාවි. ඔන්න ඔය වගේ දේවල්.

මෙවැනි කරුණු උලුප්පා දැක්වීම මගින් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා මා දන්නේ නැහැ. නිකම් කුණු රසය හෝ වෛරය ඒවායින් අදහස් වෙන්නත් පුළුවන්.

මාක්ස් කියන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ එදා මෙදාතුර සිතීමේ නිම් වළලු පුළුල් කරපු කෙනෙක්. ලෙනින් පවා විප්ලවවාදියෙකු පමණක් නොවේ, ලෝකයේ පහල වූ චින්තකයෙක්. මොවුන් ඉදිරිපත් කරපු බොහෝ දේවල් මට අද පවා කියවා තේරුම් ගන්න නොහැකියි.

ඒ වගේම ඔක්තෝබර් විප්ලවය කියන්නෙත්, මිනිස් ශිෂ්ඨාචාරයේ වැදගත් සංධිස්ථානයක් වගේම සාධාරණ සමාජයක් සඳහා මිනිසුන්ගේ තියන නිරන්තර බලාපොරොත්තුව දැල් වූ මොහොතක්. අද ආපසු හැරී බලන අප, එම අතීතයේ සිදුවුණ දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නවා. එතැනදී මාක්ස් යහන් ගතවුනේ කවුරුන් සමගද යන්න හොයා බැලීම අපට යමක් එකතු කර දෙන්නේ නැහැ.

මේවා කියැවීමෙන් අනාගතයේ ගණිකාවන් පවා පොත් ලියාවි යයි යමෙකු සාහිත්‍ය විචාරයක් මුවාවෙන් කියන විට, පාඨකයා තේරුම් ගත යුත්තේ කුමක්ද? මේ කියන විචාරත් කරන්නේ නිම් වළලු පුළුල් කිරීමේ නාමයෙන්. මේ මා කියවූ අවිචාරයක එක කොටසක් පමණයි. එය කෑලි වලට කඩා දෙන්නම් බැටේ විචාරයකට යන්න හැකි වුවත්, මගේ එවැනි බලාපොරොත්තුවක් නැහැ.

මගේ මතකයට එන්නේ ආචාර්ය Brooke Magnanti. ඇය අද කීර්තිමත් පොත් පළ කරන්නියක් විතරක් නොවේ, ලිංගිකත්වය, අධ්‍යාපනය හා සමාජය පිලිබඳ අපේ නිම් වළලු පුළුල් කරපු කෙනක් විදිහටත් සැලකෙනවා. ඇය තමන්ගේ කීර්තිමත් ලේඛණ දිවිය ආරම්භ කෙරුවේ, නිර්නාමික බ්ලොගයකිනුයි.

යම් කෙනෙක් හෝ කාණ්ඩයක් පිලිබඳ prejudice නැත්නම් කලින් නිගමනයකට ඇවිත් මත ප්‍රකාශ කිරීම යනු නිම් වළලු පුළුල් කිරීමක් නොවේ. මෙවැනි දේවල් විචාර කලාව විතරක් නොවේ, සාමාන්‍ය සමාජයේ පුවත් පළ කෙරෙන විට පවා අද බැහැර කරනවා.

විශේෂයෙන් ලංකාව පුරා පැතිරී තියන, ප්‍රචණ්ඩත්වයේ උල්පත වන්නේ මේ prejudice ම තමා.

මේ ලෙසම අපගේ අතීත කැරලිකරුවන් ගැනද මත පළ කරනවා. ගොඩක් වෙලාවට වෛරය සමග පළ කෙරෙන මේවා මගින් අප බලාපොරොත්තු වන්නේ මොනවාද? ජිවිතයේ එක අදියරක දී කෙරුන, අපරාධ වලට හවුල් වූ කැරලිකරුවෙක් වූ පමණින්, කෙනෙකුගේ ජිවිතයම එසේ යයි අප තීරණය කරන්නේ කුමන පදනම මතද කියන එකයි වැදගත් වන්නේ. එවැනි කෙනෙකුට අපටත් වඩා මානුෂික අයෙකු වීමට වරමක් හෝ ඉඩක් නැත්ද?

දැනට බාලි නුවර මරණ දඬුවමට නියමව සිටින, සුකුමාරන් පිලිබඳ වැඩසටහනක් ලඟදි ගියා. ඔහුගේ නව ජිවන දෘෂ්ටියෙන් පසක් වන්නේ අතීතයේ කරපු වැරැද්ද පිලිබඳ සැබෑවටම කනගාටු වනවා විතරක් නොවේ, මේ සාමාන්‍ය නිදහස් පරිසරයේ සිටින මිනිසෙකුටත් වඩා ඔහු මුහුකුරා ගිය හා මානුෂික අයෙක් වගයි. වැරදි කිරීම මෙන්ම, ජිවිතයේ දෙවන අවස්ථාවක් දීමත් අප කරන්න ඕනේ දෙයක්. වෙනකක් නිසා නොවේ අප මනුෂ්‍යයන් නිසා (මරණ දඬුවම නම් මා ප්‍රතික්ෂේප කරන දෙයක්).

… කලාව යනු මිනිසුන් ජීවත් වන්නා වූ සමාජය, එය චලනය කරවන බලවේග ආදිය ගැන ඥානය ලබාගන්නා එක් ක්‍රමයකි. සමාජ විද්‍යාව ඒ සඳහා තවත් ක්‍රමයකි. එසේ හෙයින් කලාව කලින් කලට වෙනස් වන්නේ මක් නිසා ද යන්න සෙවිය යුත්තේ මිනිසාගේ සමාජ පැවැත්ම තුළය….. (මාක්ස්වාදය හා සාහිත්‍යකලා, සුචරිත ගම්ලත්, පිට 16, 2008).

පළ කෙරෙන “සාහිත්‍ය කෘති” පමණක් නොවේ, මිනිසුන්ගේ නිම් වළලු වලලු පුළුල් කිරීමට යයි ලියෙවෙන “විචාර” ද අප සලකා බලන්න ඕනේ එම ව්‍යුහය තුලයි. මොක ද මේවා සමස්තයක් ලෙස පෙන්නුම් කරන්නේ, සමාජයේ තියන සංවර්ධනය හෝ පරිහානියයි.

Advertisements

13 Comments

Filed under Books, Social