Tag Archives: ළමා කාලය

නැහැ, තවත් මැකී ගියේ මුදු වදන් ඔබේ!


අපේ වැඩ කරන තැන බංග්ලාදේශ ඕස්ට්‍රේලියානුවෙක් පසුගිය අවුරුද්ද අග භාගයේ ලංකාවට ගියා නිවාඩුවකට. මිනිහ අන්තර්ජාලයෙන් සේරම විස්තර සොයන්, ගමන සැලසුම් කර තිබුණ. හැබැයි, යන්න ඕනි තැන්, කරන්න ඕනි මොනවාද කියා මගෙනුත් දිනක් අහ ගන්න අවා. මගේ කියුම් අනුව, මිනිහා සැලසුම් තව ටිකක් වැඩි දියුණු කර ගත්තා.

මිනිහා ඔය සංචාරයට ගිහින් ආවට පස්සේ මට හමු වුනේ පසුගිය දිනෙක. මා ඇහුවා ගමනේ තොරතුරු. සුද්දන් වගේ නොවේ, අපේ උප මහාද්වීපයේ තව කෙනෙකුගේ අදහස දැන ගන්න එක තරමක් වෙනස් නේ.

ලංකාව ඉතා ලස්සන තැනක් කියාත්, මිනිසුන් හරිම කාරුණික කියාත් පමණක් නොවේ, බංග්ලාදේශය හා සසඳන විට, ජීවත්වීමට ඉතා හොඳ තැනක් කියාත් මිනිහා කියුවා. බංග්ලාදේශයේ වගේ ජනාකීර්ණ නොවීම තමා එයාට හිතට අල්ලපු තව කරුණක්. හැකි නම් ඊළඟ වර එක තැනක, මාස තුනක් පමණ ඉන්න පුළුවන් වෙන්න ආයෙත්  යනවා කියා මිනිහ සිනා වෙමින් කියුව.

මා, මගේ ජිවිතයේ සැලකිය යුතු කාලයක් ලංකාවේ ගත කර තිබුණත්, නරඹා තියෙන්නේ ඉතා කුඩා වපසරියක් පමණයි. එයින් කුඩා කාලය කියන්නේ මගේ අතේ තියන දෙයක් නොවේනේ. ඕස්ට්‍රේලියාවෙත්, ජිවිතයේ සැලකිය යුතු කාලයක් ගත කර තිබුණත්, තවම බලන්න යන්න ඕනි සියලුම තැන්  වලට ගිහින් නැහැ.

ලංකාව කියන්නේ, සමහරුන් කියන පරිදි ලෝකයේ ලස්සනම රට කියා මා හිතන්නේ නැහැ. හැබැයි ලංකාවට ආවේණික  ලස්සනක් තියනවා කියා එහි ගිය පිරිස් (ලාංකික නොවන) මට කියා තියනවා පමණක් නොවේ, එය එහෙමයි කියා මාත් සිතනවා. ලෝකයේ හැම තැනකටම ආවේනික ලස්සනක් තියනවා. වියලි ඕස්ට්‍රේලියාවත් ලස්සන රටක්. මෙයත් විවිධ  පාරිසරික හා දේශගුණික වෙනස්කම් සහිතව තමා පරිණාමය වී තියෙන්නේ.

අප ජීවත්  වන පරිසරයේ ලස්සණ අප දකිනවා ද? දැක්කත් එය අගය කරනවද? ඔය ප්‍රශ්න දෙකට සම්බන්ද අනික් කරුණු නම්, අපේ වෛද්‍ය විද්‍යා දියුණුවත් සමග ඇතිවන, ජනගහන වර්ධනය සමග, ‘පරිසරය’ කියන දේ රැක ගන්නේ කොහොමද කියන කරුණයි. අවුරුදු බිලියන හතරක් පමණ තිස්සේ වෙනස්වුනු පෘථිවිය ලබා ගත්  දේවල්, සහමුලින්ම අමතක කිරීම මගින්, අපගේ පැවැත්ම තහවුරු වේවිය කියා මා හිතන්නේ නැහැ.

දුප්පත්කම සමග පරිසරය රැක  ගන්නවා කියන දේ, ගින්දර එක්ක වතුර තියා ගන්නවා වගේ වැඩක්. හැබැයි දුප්පත්කමින් මිදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැතිය කියා කියා අපට පෙන්වා දෙන්නේ, දියුණු වෙමින් පවතින සමාජ පමණක් නොවේ, ‘දියුණුය’ කියන රටවලුත්.

මා පසුගිය දවස්වල දින කිහිපයක් ගත කෙරුවේ, මගේ ළමා කාලයේ පරිසරයත් එක්ක. හැබැයි ඒ ලංකාවේ නොවේ. ඒ ගැනත්, තවත් කරුණු ගැනත් ලියමින් ඒ පරිසරයේ පින්තූර ටිකක් දිගටම දමන්නම්.

 

5 Comments

Filed under Opinion, Reflections