Differences are immaterial; (හැබැයි) හඳහන් පිටපතක් සමග පිළිතුරු ලියන්න!


ඕස්ට්‍රේලියානු රතු කුරුසෙන්, මට වසරකට සාමාන්‍යයෙන් දුරකථන ඇමතුම් තුන හතරක් ලැබෙනවාමයි. වෙන මොකවත් නිසා නොවේ. මා ලියාපදිංචි ලේ දෙන කෙනෙකු නිසා. හැබැයි ගොඩක් වෙලාවට මේ කෝල්ස් ලැබෙන්නේ වැඩකරන අතරතුර නිසාත්, දිනයක් පොරොන්දු වීම එකපාරටම අමාරු නිසාත්, ඇත්තටම ලේ දෙන්නට යන කාලය ගැන සිතෙන නිසාත්, මා බොහෝ විට කියන්නේ, පසුව මා ආපසු කතා කරන්නම් කියා.

දැනට සති කිහිපයකට කලින් එවැනි ඇමතුමක් ලැබුනහම, දින ගැන සිතන්නේ නැතිව මා එන්නම් කියා වෙලාවක් වෙන් කර ගත්ත. එය යෙදී  තිබුණේ  ඊයේට. වෙලාවට එතැනට  ගිය විට, කොළ පුරවන්න අතට දුන්න කාන්තාව, උඹ වැඩ කරන්නේ කොහෙද කියා නිකමට ඇහුව. පසුව බලන විට, ඇය අප සේවා ආයතනයේම වැඩ කර මෙයට අවුරුදු හත අටකට පමණ පෙර විශ්‍රාම ගිය අයෙක්.

ඇයගේ  පෙණුම  අනුව මා අනුමාන කෙරුවේ, ඇය නිසි වයසට කලින් කැමැත්තෙන් විශ්‍රාම ගිය කෙනෙකු බවයි. එතැන් පටන් ඇය මට අර “තමන්ගේ කෙනෙකු” වගේ සැලකුවා. කොහොමත් මෙතන ඉන්න සේරම හරි කාරුණිකයි. ඇයගේ කතාවෙන් මට දැන ගන්නට ලැබුනේ, ඇත්තටම ඇය කැමැත්තෙන් කලින් විශ්‍රාම ගිය කෙනෙකු වගම තමා.

මෙතැන  ඔය කොළ පුරවන්න දෙන අය  කරන්නේ ස්වේච්ඡා සේවාවක්. බටහිර සමාජයේ අනුන් ගැන නොසිතන මිනිසුන් ඉන්නවය කියන බොහෝ අය කිසිදා මෙවැනි මිනිසුන් හෝ ගැහැනුන් මුහුණට හමු වී ඇති අය  නොවේ කියාත් උපකල්පනය කරන්න පුළුවන්.

මගේ කතාවට ආවොත්, ලේ දීම කියන්නෙත් අතුරු ආබාධ වලින් තොර කටයුත්තක් නොවේ. අපට පුරවන්න දී, අත්සන ගන්න කොලයේ එව්වා මොනවාද, අප ඒ ගැන වගකීම ගන්නවද කියන එකත් සඳහන්. ඒ අතුරු ආබාධ මොනවාද කියා කෙනෙකුට දැන ගන්න අවශ්‍ය නම්, මෙතනට http://www.donateblood.com.au/information-for-parents  ගියහම හරි.

හම  තුවාල වීම (රිදීම), කලන්ත ගතියක් ඇතිවීමට තියන හැකියාව (නිසා රිය පදවන්නට නොහැකියාව),  වගේ දේවල් හා කලින් හොඳට වතුර බොන්න වීම, කලින් හා පසු මධ්‍යසාර වලින් වැලකීම (සමහරුනට ගොඩක් අමාරු දෙයක් වෙන්නට හැකි), ව්‍යායාම වලින් පැය  24ක් වගේ කාලයක් අයින් වී ඉන්න වීමට අමතරව, තියන ලොකුම ආබාධයක් ලෙස, මේ සඳහා සැලකිය යුතු කාලයක් වෙන් කරන්න වීම ගන්න පුළුවන්. කාලය හැර අනෙක්වා ගෙන් සමහරක්, වෙන්නට යම් සම්භාවිතාවයක් තියනවා මිස, අනිවාර්ය අතුරු ආබාධත් නොවේ.

ඇත්තටම, මා වැඩිපුර භාවිතා කරන්නේ දකුණත නිසා, වමත හිල් කරන්න කියුවේ, මට එවෙලේ නිරායාසයෙන් ලැබුන, එතැන  හිටපු සාපේක්ෂ තරුණ හෙදියට. ඇය කටුව ගහල, නහරය මග හැරුන නිසා, කටුව ටිකක් කරකෙව්ව. එය වේදනාත්මක  නිසා, ඇය  කටුව අයින් කෙරුව. අනික අත ට්‍රයි කලාට  කමක් නැත්ද අහල, නහරයක් අල්ල ගන්න හැදුවත්, ඇය එතරම් කොන්ෆින්ඩන්ට් වුනේ නැහැ.

ඒ ගමන හිටපු අනික් හෙදියට මාව බාර දුන්න.  ඇත්තටම ලේ ගත්ත ඒ අතට වඩා, නොගත්ත අතේ වේදනාව (ලොකු එකක් නොවේ) හවස් වනතුරු තිබුණ. එක ලේ දීමකින් ජිවිත 3ක් බේරෙනවා කියල කියනවා. මා ඉහතින් සඳහන් කරපු සේරම ‘අතුරු ආබාධ’ (එක කෙනෙකුට හැදෙනවයි කියා සිතා) එක පැත්තකට දමල, ජිවිත තුනක් බේරීම අනෙක් පැත්තට දැමුවොත්, මේක මට නම් ප්‍රිටි ගුඩ් ඩීල් එකක්.

මට පෞද්ගලිකව කෙලින්ම වැදගත් නොවන මෙවැනි දෙයක් විතරක් නොවේ, කෙලින්ම බලපාන දේවල් ගැනත් මා තීන්දු ගන්නේ මේ ආකාරයෙන්ම තමා. ඒ කියන්නේ අතුරු ආබාධ කියන දේවල්, ලැබෙන ඵලය හා සසඳපුවහම, නොසැලකිය හැකි තරම් කුඩා නම්, දෙයක් කරන්නට මැලි වන්නේ නැහැ.

අතුරු ආබාධ නොවේ, අතුරු කතාවකට ගියොත්, සති අන්තයේ මිත්‍රයෙකුගේ නිවාසයකට ගිය විට, මෙහෙ මුද්‍රණය වන සිංහල පුවත්පත් තුනක් ආලින්ද කෝපි මේසයේ තිබුණා. මන් හිතන්නේ මා අවුරුදු පහකින් විතර මේ පුවත්පතක් දුටුවාමයි. නිකම් පෙරලලා බලන විට, මේවයින් මා ඈත් වී තියෙන්නේ මොකද කියා මටම මතක් වුණා.

මේ සටහනට  මා අලුත් කැටගොරියක් හැදුවා. විවේචන නම් අපට හැම තැනම දකින්න හැකිනේ. උදාහරණයකට, ලංකාවේ ඉන්න සමහර දෙනා, අප වැනි සංක්‍රමණිකයන්ට හිනා වෙනවා. සංක්‍රමණික පිරිසෙන් ගොඩක් දෙනා, ලංකාවේ ඉන්න අයට  සිනා වෙනවා. මා කලින් ලියා ඇති, මෙහෙම සංසන්දනය කර ගනිමින් සිනා වීම මහා ගොන් පාර්ට් එකක්.

හැබැයි වෙනස් ජිවිත සොයා රටරටවලට ආවත්, යලිත් ජිවත් වන්නේ සුපුරුදු පරිදිමයි කියා අර පත්තර නම් පෙන්නුම් කරනවා. මා කියන්නේ එය හරි හෝ වැරදිය කියල නොවේ, මා කොතරම් දුරට ඒ ප්‍රධාන ධාරාවෙන් දැන් ව්‍යුක්තද  කියන එක.

පත්තර වල තිබුන ප්‍රධාන දේවල් සරලව කියුවොත් මෙහෙමයි. ගිහියන් හා මහණුන්  විසින් කියන බණ, හඳහන් කේන්දර, පළාපල  ගැන ලිපි හා වෙළඳ දැන්වීම්, තරඟයට වගේ දමා ඇති ටියුෂන් දැන්වීම්. මේ අංශ තුන සමහරුන්ගේ මුළු දිවියේ තියන ජිවන විලාසිතා අංග ගැන කියනවා පමණක් නොවේ, දිවියේ තියන පරස්පරකමක් කියන දෙයක්.

හැබැයි ඒ මා දකින හැටිනේ.  එයත් මා මුලට කියුව අතුරු ආබාධ කතාවටම දමන්න පුළුවන්. ඒ කියන්නේ යමකින් තියන හානිය, ප්‍රයෝජනයට වැඩි, නම් මා කරන්නේ ඈත්  වීමයි.

13 Comments

Filed under Reflections

13 responses to “Differences are immaterial; (හැබැයි) හඳහන් පිටපතක් සමග පිළිතුරු ලියන්න!

  1. අපි ඇපල් පිකින්ග් වලට ඔර්චඩ් එකකට ඇතුළු වන විටත් ඔය කොළය පුරවා අත්සන් කළ යුතුයි, රයිගම්. ඉනිමගෙන් වැටීම වැනි අතුරු ආබාධ වල හානි වලින් අයිතිකරුවන් නිදහස් කිරීමයි එයින් කරන්නේ.

  2. හෙහ් හෙහ්!! කොහොමද ඉකෝ ඩොලර් දහයක විතර ඇපල් කඩන්, මිලියන දහයක වන්දියක් ඉල්ලුවොත්? ගොඩ නේ!

    මතකද ඉස්සර ලංකාවේ දූෂිත යයි කුප්‍රකට දේශපාලකයන් ගැන කියන කොට, එයාලට ලන්ඩන් වල ගෙවල් හා ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු තියනවා කියල කියනවා. මන් හිතන්නේ කළු සල්ලි තියනවා නම්, කරන්න හැකි ගොන්ම වැඩක් තමා මෙහෙ ඇපල් වතු ගැනීම. මේවා නිකම් මනස් වල ඇඳුන චිත්‍ර විතරයි කියා මට පසු කාලෙක සිතුන.

  3. මමත් ඒ දවස්වල (මහවැලිය හදන කාලයේ එහෙම) ඔය ඇපල් වතු කතා තළු මරමින් රස වින්දා. මේ ඇපල් වතු කරන ගොඩක් අය එය කරන්නේ ලාභයට වඩා තමන්ගේ විනෝදාංශයක් ලෙස මෙන් හෝ පාරම්පරිකව කළ නිසා. සමහර අය ඔවුන්ගේ පාරම්පරික ඇපල් වතු වල වැඩි ඉඩම් කොටස නිවාස සංවර්ධන වැනි දේ සඳහා විකුණා පොඩි කොටසක් විනෝදයට මෙන් කරනවා. මේ U-පික් වැඩේ කරන්නෙත් ඇපල් කැඩීමේ පිරිවැය ආදායමට වඩා අඩු නිසා.

  4. මෙහෙත් තත්ත්වය එසේමයි ඉකෝ. එක්කෝ පාරම්පරිකව ලැබුන දේවල් නිසා, නැත්නම් වගාවට හා ඒ ජිවන විලාසිතාවට තියන අසීමිත ආදරය නිසා තමා ඔය වගේ දේවල් කරන්නේ. ලොකු ලාභයක් තියා, සමහරවිට කොහෙත්ම ලාභයක් නැහැ බාහිර යන්ත්‍ර සුත්‍ර හා ශ්‍රමය කුලියට ගත්ත වුනත්, තමන් හා පවුලේ අය ගේ සහබාගිත්වය හා කැපවීම හැම වගාවකටම (කෘෂි කටයුත්තකටම) පොදු ලක්ෂණයක්.

    සමහර කාල වල විකුණන මිලට වඩා, කඩන්න යන මිල වැඩි නිසා ගස් යට වැටෙන්න හරින (විශේෂයෙන් දොඩම්) කතා අසන්නට ලැබෙනවා. එයට බැඳී තියන ආර්ථික හා දේශපාලන හේතු බොහොමයි (ඔබට හවස් වරුව මා හිතන්නේ දැන්? මගේ දෙවෙනි උදේ තේක බොමින් ලියුවේ). :).

  5. Anonymous

    මම මේ හවස තේ එක බොමින් කමෙන්ට් එක දමන්නේ ලංකාවේ සිට…. 🙂

    දැන් මේ දෙන්නාගේ කතාව ඇහුවම මට හිතුනේ ඇපල් වතු වලින් (ලංකාව වගේ රටවල ඉන්න) අපි හිතන තරම් ලොකු අදායම් ගන්න බැරි බවකුයි.එත් ඉතින් ඇපල් වලට හොඳ වෙළඳපොළක් නම් ලෝකේ වටේම තියෙනවානේ.වාණිජ වශයෙන් කරන ඇපල් වගාවන් එහෙම ඕන තරම් ඇතිනේද ?

  6. උඩ කමෙන්ට් එක මගේ

  7. හා හා!! අපට නිදියන්න වෙලාව හරි වගේ මනෝ. 🙂

    ඔව් වාණිජ වශයෙන් තමා මේවා පවත්වාගෙන යන්නේ. හැබැයි මෙහෙමයි වැඩේ. යන්ත්‍ර භාවිතාව තියනවා තමා. හැබැයි, පලතුරු බොහොමයක් තාමත් අතින් කඩන්නේ. ඉතින් ශ්‍රම මිල අධික තැනක ඒ වගේ දෙයකට, අද ලෝකයේ තරඟයක් දෙන්න අමාරුයි.

    ඕස්ට්‍රේලියාවට ඇපල් ආනයනය මෑතක් වන තුරු තහනම්ව තිබුනා. කෙසෙල් ආනයනය තවමත් තහනම්. එය දේශීය කර්මාන්ත ආරක්ෂණයේ පියවරක්. පිටින් ගෙනෙන කෙසෙල් වල ඉන්න සතුන්ගෙන් මෙහෙ වගාවට හානි වෙනවය කියුවත්, පිලිපීන කෙසෙල් වලට මිලෙන් ෆයිට් එකක් දෙන්න, අපට හැකි වන එකකුත් නැහැ.

    ඔබ ලංකාවේ දැකලත් ඇති, බීලත් ඇති ඕස්ට්‍රේලියාවේ නිශ්පාදිත බේරි ඇපල් ජූස්. හැබැයි දන්නවද, එහි ඇතුලේ තියෙන්නේ ඕස්ට්‍රේලියානු ඇපල් වල සාරය නොවේ (මේවා 100% ඇපල් සාර නොවේ). ගොඩක් වෙලාවට තියෙන්නේ, දකුණු අමෙරිකාවෙන් මෙහෙට ආනයනය කරපු, සාන්ද්‍රිත ඇපල් සාරයෙන් හදපු කලවමක් මෙහෙදී බෝතල් කිරීමයි. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිතයි කියුවහම කවුරුත් හිතන්නේ මෙහෙ ඇපල් සාරය කියා.

    මෙහෙ හදපු ඇපල් සාරය වෙනම විකුනන්න තියනවා. ඒවා දින කිහිපයක් තියා ගන්න හැකි, ශිතකරණේ තියන, මිලෙන් අධික එව්වා.

    ඉතිං මුදල් තිබේ නම්, මේවට වඩා ආයෝජනය කරන්න හොඳ ව්‍යාපාර තියනවා. මේ වගේ වගාවන් කරන්නේ ලාභයක් බලාගෙන වුවත්, එහි යෙදෙන පිරිස් වලට තවත් අරමුණු තියනවා.

  8. එල ද බ්‍රා මෙන්ඩ

    මමත් කැමතෙන් කරන දෙයක් ලේ දෙන එක එත් මාස 5 ක් යනකන් නැවත ගන්නේ නැහැනේ

  9. සැලියුට් මෙන්ඩ!
    ලෝකේ ජනගහණය කොතරම් වැඩි වුවත්, ඔබට දකින්න හැකියි, ලේ අවශ්‍ය වෙලාවට, ලේ නැතිව කරන ආයාචනා. ඒ වගේම අපේ ජනගහණයේ වැඩි වීමේ හැටියට, අවයව (මිය ගිය පසු) තව කෙනෙකුට ප්‍රයෝජනයට දෙන මිනිසුන්ගේ වැඩිවීමක් (සාපේක්ෂව) නැහැ.

  10. මෙන්න මගේ ප්‍රතිචාරය.
    https://kolambagamaya.blogspot.co.uk/2017/03/blog-post.html

  11. අද මචං රතු කුරුසෙනුත් ප්‍රතිචාරයක් ලැබුණා. එහි මෙසේ තිබුණ: Hi, your blood donation is already at work! Your blood has gone on to save lives at………base Hospital today.
    මගේ ක්‍රියාව, altruistic ම නොවේ කියා, එය කියවූ විට මට තේරුම් ගියා. මොකට මට සතුටක් දැනුන නිසා.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.