Category Archives: Energy

ඇට තලන්න දක්ෂ බ්‍රසීල වඳුරන්! A hard nut to crack!


bearded-capuchin-monkey-of-brazil-cracks-nuts-with-large-stone

කලින් සටහනේ මාතෘකාව තේරුම් ගත්තේ කවුද කියා මා දන්නේ නැහැ. මැල්ලුම් කියුවහම පොල් මැල්ලුම් කියන දේ නේ අපේ සිතට එන්නේ. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් නේද? ඇත්තටම පොල් නොමැති මැල්ලුම් හදන්න බැරිද? මැල්ලුම කියන්නේ යමක් මලවා ගැනීමනේ. අන්න ඒක අපේ සම්ප්‍රදායිකව ඔලුවේ පැලපදියම් වී තිබෙන දෙයින් පිටතට ගෙන යාමක් තමා මා බලාපොරොත්තු වුණේ.

ඉතා සෙමින් වෙන වෙනස්කම් අප දෝතින් බදා ගන්නවා. මොකද ඒවා වෙනස්කම් ලෙස අපට නොදැනෙන නිසා. මිනිසුන් ගස් වලින් බිමට බැහැල, ජීවිතය පහසු කර ගන්න සතුන්ව මරා ගන්න, ගෙඩි කඩා ගන්න, අල හාරන්න පොඩි පොඩි ආයුධ හදා ගන්න විට, ඒවාට එරෙහි වූ අය අනිවාර්යයෙන් ඔවුනතර ඉන්න ඇති.

උඹට කියන්න ගුරුන්නාන්සේ, මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙනස්ව වර්ධනය වෙන්නට පටන් ගන්න ඇත්තේ, මේ ආයුධ භාවිතා කරන්න පටන් ගාත්තට පස්සේ වෙන්න ඕනේ. මොලය වර්ධනය හා සිතීමේ හැකියාව සමග ආයුධ භාවිතා කිරීම එකට එකක් ඇලිල තියන අපේ සුවිශේෂ ලක්ෂණයක්.

සත්ත්ව ලෝකයේ ජානමය වශයෙන් අපට වඩාත් සමීප චිම්පන්සින් තමා ප්‍රාථමික උපකරණ භාවිතා කරන අනෙක් සත්ත්ව කොට්ටාශය. අපේ මුතුන් මිත්තන් කියන අයවලුන් ආයුධ/උපකරණ භාවිතාව පටාන් ගන්නට ඇත්තේ මෙයට අවුරුදු මිලියන 2ත් 3ත් අතර කාලයේදී වෙන්න පුළුවන් වග මේ පිලිබඳ අධ්‍යයනය කරපු පිරිස් කියනවා. ලෙහෙසි නැහැ නේද? අද මේ කොම්පියුටර වල කොටන්නට අප මිලියන තුනක පමණ ගමනක් ආව කියල හිතුනම. ඇත්තටම සමහර අයියල නම් මිලියන තුන හතරකට එහා තමා තාම ඉන්නේ.


007-0489_1L

පසුගිය වසර දහ – දොළොස්දාහ තුල කෘෂිකර්මය කියා අප පරිසරයට හා සතුන්ට කරපු වෙනස් කම් අප ගොඩක් වෙලාවට දන්නෙත් නැහැ. මොකද මේ වෙනස්කම් අප කර තිබෙන්නේ විශාල කාල පරාසයක් තුල නිසා. බෝග අභිජනනය ක්‍රියාවලියේදී (මේ කියන්නේ conventional breeding වල) තාක්ෂණයන් ගැන මා වෙනම ලියන්නම්.

එතකන් මේ ටික කියන්නම්. ඉස්සර කැලේ වැවුන ධාන්‍ය මිනිසා එක් රැස් කරන විට, කරලේ පහසුවෙන් වැටෙන්න හැකි ඇට වැටුනා. ඔවුන් එකතු කරගෙන ආවේ කරලේ හොඳින් සවිවී තිබෙන ඇට. එහෙම ගෙනාපු ඇට වලින් කොටසක්, තමන් ජිවත් වන ළඟ පාත වපුරා ගෙන කපා ගන්නත් මෙයා පුරුදු වුණා. දැන් මෙහෙම කරන විට ඒ ඇට වලින් එක්තරා ලක්ෂණයක් ඔවුන් නොදැනුවත්වම හැලුනා. ඒ හැලුනේ, කරලෙන් පහසුවෙන් ඇට හැලෙන ලක්ෂණය. මෙය සරල උදාහරණයක් පමණයි. අනෙක් සියලුම බෝග හා පළතුරු වලත්, සතුන්ගේත් මෙවැනි ලක්ෂණ අප තෝරා ගෙන ඒවා ප්‍රවර්ධනය කෙරුවා, නැත්නම් අප නොදැනම වඩාත් රසැති පළතුරු, එළවලු හා ධාන්‍ය වර්ග තෝරා අභිජනනය කෙරුවා.

ඒ කාලේ මේ ලක්ෂණ ඉතිරිවීම හෝ ඒවා ඉතිරිවන්නේ කොහොමද කියල කල්පනා කරන්න වෙලාවක් හෝ එයට ප්‍රමාණවත් ඥානයක් අප සතුව නොතිබෙන්නත් ඇති. ආහාර වලින් ලබන පෝෂණය වැඩි වෙන්න වෙන්න විතරක් නොවේ කල්පනා කරන්න අපට තවත් විවේක කාලය ලැබෙන විට, ඇත්තටම ගස්වැල් හා සතුන් හැදිලා තියෙන්නේ කොහොමද කියල අප සොයන්න ගත්තා නේ. ඔබ දන්නවනේ වර්තමානයේ අප ඉන්නා තැන.

free-vector-hex-nut-clip-art_115886_Hex_Nut_clip_art_hight

මා මේ දිනවල කියවන පොතක් තමා Tomorrow’s Table. මේක ටිකක් පරණ එකක්. වසර 2008 දී තමා මුද්‍රණය කර තියෙන්නේ. මට නම් අලුතින් යමක් ඉගෙන ගන්නට මේ පොතේ නැහැ. නමුත් මේවා අප කියවන්නට අවශ්‍ය දේවල්. ඒ ගැන මා ඊළඟට ලියන්නම්. නමුත් මේ පොතේ කියවෙන්නෙත් කෘෂිකර්මයේ අප අද ඉන්නා තැන.

දැන් මගේ මාතෘකාවට ආවොත්, ගොඩක් වෙලාවට මගේ මාතෘකා නීරසයි කියල ඔබට සිතෙනවා ඇති. මොනවා කරන්නද? මේවායේ තියන යටි තේරුම් සමහර විට සටහනට අදාළ නොවනවාත් ඇති. අද ලියන්න ගත්තේ ඇට ගැන. කලින් ලියපු සටහනේ තිබුණේ අපේ ඇට හැලෙන (ගැහැණු-පිරිමි බේදයක් නැතුව) කෘතීම රසකාරක ගැන. අද ලියන්නේ පරිසරයේ අපට හමුවන තවත් ඇට වර්ගයක් ගැනයි.

සිංහලෙන් ඇට කියනවා වගේම තමා, ඉංගිරිසියෙන් නට් කියන්නෙත් විවිධ තේරුම් ඇති වචනයක්නේ. නට් බුරුල් වීම කාටවත් හොඳ දෙයක් නොවේ. සමහර මහාචාර්ය වරුන්ට නටි ප්‍රොෆෙසර්ල කියනවා. එවැනි කෙනෙක් ගැන කියවෙන මේ කබල් චිත්‍රපටයත් ඔබ සමහරවිට නරඹා ඇති

අද කාලේ පොල් කියන කොට අපේ සිතට එන්නේ මූඩියක් සහිත බෝතලයක්. නමුත් පොල් කියන්නේ නටයක්, නැත්නම් ඇටයක්. මෙවැනි ඇට වර්ග ගණනාවක් මිනිසාට පෝෂ්‍ය පධාර්ථ සපයනවා. ඇට ජාති කන්න කැමති නැත්තේ කවුද? අද ඇත්තම කතාව පොල් වගේ නට් නැත්නම් ගස් වල හැදෙන කන්නට හැකි තද පොත්තක් තියන ඇට ගැනයි. මිනිසුන් ඇට කන්නට ආසයි නේ.

imagesCAO42IVH

අප විතරක් නොවේ සත්ව ලෝකයේ ඉන්නා නොයෙකුත් සතුන් ඇට වර්ග කන්නට කැමතියි. මේවායේ තියන පෝෂ්‍ය ගුණය හා රස නිසා තමයි ඒ. පොඩි කාලේ කජු කන්න වගේ කියන එකේ තේරුම මා ඇත්තටම දැනන් හිටියේ නැහැ. වෙන වචන වලින් කියුවොත් මේ කියමන විකාරයක් කියලයි මට සිතුණේ. මොකද කියනවා නම්, කජු ලෙල්ල ඇරලා, කජු කාපු කෙනෙක් දන්නවා ඇති මේක කොතරම් සීරුවකින් කරන්නට අවශ්‍ය දෙයක් ද කියල.

කජු ලෙල්ල කියන්නේ මිනිසාට හා අනෙක් සතුනට විෂ විය හැකි “තෙල්” වර්ග අඩංගු ආවරණයක්. මේ ගැන ලියන්න ගියොත්, මේ සටහන වෙනතක යනවා. පොඩි කාලේ කජු අහුලපු අය දන්නවා ඇති කට වටේ “වණ” වුන හැටි.

ඉතිං කොහොමද කරන්නට ගොඩක් ලෙහෙසි දෙයකට, කජු කනවා වගේ කියන්නේ. කජු කන්න නම් මාර කට්ටක් කන්න ඕනේ. අර කතාවේ රහස දන්නවද? ඔය කතාව පටන් අරන් තියෙන්නේ වලවූ වලින්. එයාලට කජු ලෙලි ගහල දෙන්න අප්පුල ඉන්නවා. ඉතිං තියෙන්නේ දෙහන් වෙන්න කන එක විතරයි. මා මේක හරියට තේරුම් ගත්තේ, මෙහෙ කඩවල් වල තියන ලොකු කජු පැකට් ගෙනල්ල කන්න පටන් ගත්තට පස්සේ.

ඉතිරිය හෙට…….

3 Comments

Filed under Agriculture, Energy, Opinion