Monthly Archives: March 2012

සන්ද්‍යා එක්නැලිගොඩ Sandyaa Eknaligoda; she also can smile while crying!


කෙනෙකුට ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවන කනගාටුදායකම සිදුවීම මොකක්ද? තමන්ගේ ලඟම ඥාතියාගේ හෝ යහළුවාගේ/යෙහෙළියගේ මරණයයි කියල මා කිව්වොත් ඔබ මා සමග එකඟ වෙනවාද? කෙනෙකුගේ අකල් මරණය ඔහුගේ හෝ අයගේ කිට්ටුවන්තයන්ට වඩාත් කනගාටුදායකයි. මෙයටත් වඩා කනගාටුදායක දෙයක් තියනවා. ඔවුනගේ මුළු ජිවිතයම ගෙවෙන්නේ ප්‍රශ්නාර්ථයක් මැද. මෙහෙම දෙයක් තමන්ට වෙනකම්, ඒ මොකක්ද කියල හරියට තේරෙන්නේ නැහැ. පසුගිය දිනවල කියවපු ප්‍රවුර්ති  හරි නම් අප අතර මහත්තුරු ලෙස කොච්චර නරුමයන් ඉන්නවාද කියල හිතා ගන්න පුළුවන්. මේ කට්ටිය (ශ්‍රී ලාංකිකයන්) මේ බටහිර රට වලත් ඉන්නවා. සමහරක් ලොකු සංගම් හදාගෙන. මා කියන්න යන්නේ ඔබගේ සැමියා, තාත්තා, අම්මා, දුව, පුතා, නංගි, මල්ලි, සීය, ආච්චි …..එකවර අතුරුදහන් උනොත් ඔබට මොකද හිතෙන්නේ?

ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නේ ලංකාවේ අතුරුදහන් උන දහස් ගානකින් එක අයෙකු. උතුරේ යුද්ධයේදී වගේම, අසූ නමයේ හා අනූවේ භීෂණ යුගයේ දහසක් දෙනා අතුරු දහන් උනා. ඊට පෙරත් හැත්තෑ එකේදි තව පිරිසක් අතුරුදහන් උනා. මා කියන්නේ දේශපාලන හෝ රාජ්‍ය මැදිහත් වීමෙන් යයි සැකකළ හැකි අතුරුදහන් කිරීම්. තමන්ගේ සැමියා හෝ පුතා අතුරුදහන් උනොත්, ලංකාවේ වගේ ගජ මිතුරු පාලන ක්‍රමයක්  තියන රටක ඉන්න කෙනෙකුට කරන්න පුළුවන් දේවල් කොච්චර සීමිතද කියල තේරුම් ගන්න මෙවැනි දෙයක් වෙලාම තියෙන්න ඕනේ.

ඒ අතින් සන්ද්‍යා එක්නැලිගොඩ කියන්නේ දිරිය කාන්තාවක්. මේවගේ දෙයක් උනහම මොකුත්ම නොකර නිකම් ඉන්න එක, ලංකාවේ වගේ රටක ලොකු සැනසිල්ලක්. පසුගිය කාලේ ප්‍රගීත් ගැන “නොයෙකුත් ගවේෂණ මාධ්‍යවේදියන්” නොයෙක් කතා පළ කළා. කෙනෙක් කිවේ ඔහු හිඟන්නෙක් කියලා, තව එකෙක් කියනවා සල්ලි කාරයෙක් ඒත් අතුරුදහන් උනේ මොනවාද අළු වගයක් යවපු හින්දා කියල, තව එකෙක් කියනවා මූ මොන මාධ්‍යවේදියෙක්ද කියලා, තව කෙනෙක් කියනවා අතුරුදහන් උනේ එක්තරා ඇමති කෙනෙකුගේ ලිංගික ජීවිතය ගැන ලියපු හින්දා කියලා. මේ එකක් වත් වැඩක් තියනවද?

අතුරු දහන් වෙලා ඉන්නේ තාත්තෙක්, සැමියෙක්, පුතෙක්, මාමා කෙනෙක්, සහෝදර ලාංකිකයෙක්. ඔහු මාධ්‍යවේදියෙක්ද, කුඩු කාරයෙක්ද, නැත්නම් මිනීමැරුම් චෝදනා තියෙන කෙනෙක්ද කියලා ප්‍රශ්න කරන සේරම කට්ටිය කරන්නේ මෙවැනි අතුරුදහන් කිරීම් සාධාරණියකරණය කිරීමයි.

මා කියෙව්වා එක්තරා “බටහිර රටක යහතින් ජිවත් වන මිනිසෙකු” ජිනීවා වලදී ප්‍රශ්න කළා කියල සන්ද්‍යා සිනහ වෙනවා දැකලා “සැමියා අතුරුදහන් උනා නම් කොහොමද ඇය සිනා සෙන්නේ” කියලා. මේ කතාව ඇත්තක් නම් (සමහර වෙලාවට මේවායේ බොරුත් යන නිසා), අනේ බන්, ලංකාවේ තව කොච්චර දෙනා ඉන්නවද මෙසේ එදිනෙදා ජිවිතයේ සිනාසෙන? ඔවුනගේ හදවතේ වේදනාව හැමදිනකම උදෑසන පිබිදෙන විටත් , ඔවුන් කරන හැම දේකදිත්, ඔවුන් සමගයි කියල උඹ දන්නේ නැත්නම්, මිනිසෙකු වී ඉපදුනේ ඇයි කියා මට තේරුම් ගන්න බැහැ.

මා මේ සටහන ලියුවේ සන්ද්‍යාට හා මට ඉතාම සමීප තවත් කාන්තාවන් තිදෙනෙකු වෙනුවෙනුයි. සමහර දෙනා සිතින් විතරක් නොවේ, සමාජියිය වශයෙනුත් හරිම අසරණ වෙනවා මේ වගේ වෙලාවක. මා සන්ද්‍යාව අගය කරන්නේ ඒ නිසා.

Leave a comment

Filed under Politics, Social