මා උයන විට මස් වල හොදි ඉතුරු කරන්නේ නැහැ. මොකද මන් වත් අපේ ගෙදර අනෙක් අයත් මේ මස් හොදි වලට ආසා නොකරන නිසා. එහෙම උනත්, අප නිතර හදන පරිප්පු, අර්තාපල් වැනි හොදිත් ඉඳ හිට හදන වැටකොළු, කෙසෙල්,කරවිල, මයියොක්කා හා බතල වැනි හොදි වලටත් ආසා කරන්නේ පොඩි කාලේ ඉඳන් ඒවාට අපේ දිව හුරු වෙලා තියන නිසා.
හොරණ, බණ්ඩාරගම වගේ පලාත්වල තියන කොරටු වල පතෝල වවනවා. මේ කොරටු බොහොමයක තියෙන්නේ මඩ හා කාබනික ද්‍රව්‍ය සෝදා ගිහින් පෝෂ්‍ය බවෙන් අඩු වැලි සහිත පස්. මේවායේ එළවලු වවන්න කෘතීම පොහොර යෙදීම අනිවාර්ය අංගයක්. හැබැයි කොරටුවල පතෝල මැසි වලින් එල්ලා වැටෙන පතෝල කරල් දකින්න වටින දර්ශනයක්. පතෝල විතරක් නොවේ මේ කොරටු වල කරවිල, ලබු, වැටකොළු වගේ අනෙක් එළවලුත් වවනවා.
කෙනෙක් මගේ සටහනක් දැකලා, ඒක නීරසයි කියල සමාන කරලා තිබුනේ පතෝල හොද්දකට. එහි ගැඹුරු අර්ථයක් තියනවා.
මා වැඩිපුර උයන්නේ මස් තමා. ඊට අමතරව අපට ගන්න පුළුවන් එළවලු වර්ග සීමිතයි. ලංකාවේ නොවන කෑම වලට නම් ඔය ලීක්ස්, ගෝවා හෝ කැරට් වැනි එළවලු යොදා ගන්න පුළුවන්. ඊට අමතරව කන්න තියන (එළවලු ව්‍යංජන හැටියට) එළවලු වර්ග සීමිතයි. ඉතින් හැමදාම එකම දේවල් තමා කරකවන්න වෙන්නේ. අනික තමා, මේ අලුත් ප්‍රබේධ වල, අප පුංචි කාලේ කාපු රසය නැහැ. කරවිල ගත්තොත්, ගෙඩිය නම් ලොකුවට තියනවා. නමුත් අර කොරටු කරවිල වගේ රසයක් නැහැ.
මා මේ බ්ලොගය ලියන එකෙන් සතියක් දෙකක් ඈත් වී හිටියේ කිව නොහැකි කරුණක් නිසා. නමුත් එම කාලය තුලත් දෙතුන් දෙනෙක් හෝ දිනපතාම මෙය අඩු ගානේ ක්ලික් කරලා හරි තිබුනා. මා මෙය ලියන එක අල්ලලා දාන්න හිතාගෙන හිටියත් මා වැනිම පතෝල හොදි වලට කැමති දෙතුන් දෙනෙක් හෝ ඉන්න බව පෙනෙන නිසා මෙය තව දුරටත් පවත්වාගෙන යනවා.
මා ලියන්නේ මට එවෙලේ සිතෙන දෙයක් උනත්, ඒ වටා තියෙන්නේ මා හිතන හැටි. මා මස් හොදි වලට කැමති නැති උනත්, ලංකාවට ආවොත් හොයන්නේ පතෝල, කරවිල, කෙසෙල් මුව, ඉන්නල වගේ දේවල්.
මේ බ්ලොග් අවකාශෙත් “මස් හොදි” නම් හැමතැනම තියනවා. ඒත් මා ලියන්නේ කෙනෙකුට නීරස වෙන්න පුළුවන් “පතෝල හොදි” ගැන. ලොකු රහසක් නොවේ, මොකද කියනවා නම්, මා ඇත්තටම පතෝල හොදි වලට ආසයි.
මුලින්ම මම රයිගම් හන්දිය හදන පතෝල හොද්දේ රසිකයෙක් බව කියලා ඉන්න ඕනෙ. රයිගම් සමහර විට ලියන ඕස්ට්‍රේලියාවට අදාල දේශපාලනය, රාජය පාලනය, බදු හා සම්බන්ධ පෝස්ට් මම කියවලා සද්ද නැතුව යන්නෙ මට කියන්න දෙයක් නොමැතිවූ විටයි. සමහර විට ලංකාවට අදාල සමහර දේවල් වලටත් එහෙම වෙන්න පුලුවන්. එදාට ලුණු පොඩ්ඩක් වැඩි වුනාට මම ආයෙ හොද්දක සුවඳ දැනුනම දුවගෙන එනවා.
පතෝල ගැන කිව්වොත්, පොඩි කාලෙ මට පතෝල වැටකොලු පේන්න බෑ. එව්වට කැමති මිනිස්සු දිහා බැලුවෙත් ‘ලෙඩ කෑම වලට කැමති මෝඩයො’ හැටියට. නමුත් වයසත් එක්ක දිව පරිණාමය වෙනකොට තමයි අර මූලික රස හතරට අමතරව තියෙන වඩාත් සංකීර්ණ රස තේරුම් ගන්න පුලුවන් වුනේ. අද නම් පතෝල හොද්දට අමතරව අර උඹ කියාපු ඔක්කොම හොදි වලට මම මාර ආසයි.
මේක කියවපු මගෙ බිරිඳ කිව්වෙ “ඔය රයිගමයට කියන්නකො එළවලු ඇට පැකට් ටිකකින් ඔය එළවලු හදාගන්න බලන්න පුලුවන්ද කියලා ග්‍රීන් හවුස් හරි හයිඩ්‍රොෆොනික්ස් හරි වලින්වත් කියලා. ඒ මොකද උඹලා ඔහේ ඉන්නෙ අපි මෙහෙ ඉන්නවා වගෙ රස්සාවට විතරක් නොවන හන්දා.
මම පහුගිය ටිකේම ඔබේ ලිපි කියෙව්වෙ ගුගල් රීඩරෙන්… මොකද අපේ ඇස්ඇල්ටී සේවයට පිං සිද්ධවෙන්න මට වර්ඩ් ප්‍රෙස්වලින් තියෙන කිසිම බ්ලොග් එකක් ප්‍රවේශ වෙන්නෙ නෑ… අදත් හිතුවෙ එහෙම වෙයි කියලා… පතෝලත් අර බටු මෝජු හදන විධියට හැදුවම පට්ට රහයි….
මාත් ඔබව කියවන්නේ රීඩරය හරහා, බොහෝ වෙලාවට මා බ්ලොග් හෝ සිංහල බොහෝ දේවල් කියවන්නේ ෆෝන් / ටැබ් එකෙන් නිසා කොමන්ට් කිරීමක් නෑ. කොහොමත් අර ඉස්සර කාලේ වගේ දැන් කමන්ට් කරන්න කම්මැලියි. ලැප් එකට ඩෙස්ක්ටොප් එකකට ලොග් වෙන්න හරිම කම්මැලියි දැන්. ඒක හින්දා කොමන්ට් එකක් ලියවෙන්නේම නෑ. ඒත් ඒකෙන් කියන්නේ කියවීම අඩු කලා කියලා නෙමෙයි. මේක ඔබේ බ්ලොගයට විතරක් අදාල දේකුත් නෙමෙයි.
විශේසයෙන්ම ඔබගේ ලිපිවලට යමක් කියන්න ගොඩක් හිතන්න වෙනවා. සමහරවිට අපේ වයස එක්ක අපි අපි හිතන විදිය වෙන්න ඕනේ. අනික කොමන්ට්ස් හින්දම ලියන කෙනෙක් වෙන එකක් නෑ ඔබ. ඒක හින්දා කියවන අපි වගේ අයත් ඉන්නවා කියලා හිතලා ලියන එකයි වටින්නේ,
පතෝල හොදි නම් මම දන්නේ නෑ ඒත් පතෝල කරවිල මෑ බණ්ඩක්කා වගේ එළවළු මතක් වුනාමත් මට මේකට කොමන්ට් එකක් දාන්නත් හිතුනා. මම හොදි නම් කන්නේ නෑ ඒත් ඕන ගමේ එළවළුවක් කනවා. බෙහෙත් නොගහා හදන එළවළු හොයාගෙන අතරමන් වෙන්න තාමත් මම උනන්දුයි. ඒක හින්දා බලංගොඩ ඉඳන්, මහියන්ගනයේ ඉඳන් මාතර ඉඳන් යාපනේ ඉඳන් ආණමඬුවේ ඉඳන් කොළඹට එළවළු ගේන්නත් මම හරි ප්‍රසිද්දයි නිවාඩුවට ආවම. ඒ ගෙනාවට ඉතින් උයාගන්න නම් යාළුවන්ගේ අම්මාලාගේ පිහිට තමයි.
මෙහෙදිත් මා නම් වැඩිපුර එළවලු ජීවියෙක් තමයි. මස් වලට වඩා මම ආස එලවළු හා සැලඩ් නිසා. ඒත් මම වෙජිටේරියන් කෙනෙකුත් නෙමෙයි. එළවළු උයලා කෑවත් හොදි තිබ්බොත් නම් මට බත් කන්න නම් බෑ. හොදියි එක්ක දිය වෙලා තියෙන බත් දකිද්දි මට මතක් වෙන්නෙම අර පොඩි කාලේ අම්මලා බලෙන් කවන පප්පා එක හින්දා වෙන්න ඇති.
ඩූඩ් මාත් ඔය ක්‍රමය ට්‍රයි කරන්න හිතුවා. ඒත් මා දන්නා තරමට ඔය ගමේ කෑම මෙහේ අඩු තරමේ මා ඉන්න පලාතේ නම් හදාගන්න බෑ. දේශගුණය වගෙ ප්‍රශ්න එක්ක. නැත්නම් මම හැමදාම අන්තිමට ගමේ එළවළු විතරක් කයිනේ. ඒත් රයිගමට නම් එහෙම පුළුවන් වෙන්න පුළුවන්.
ඇත්තටම මේ බ්ලොග් එකේ පතෝල ගතියක් තියනව තමයි. ඒත් මම නං ඇවිල්ල කියවනව. හෙන්රි කිව්ව වගේ කියන්න දෙයක් නැතිවුනාම සද්ද නැතුව යනව. කමක් නෑ දිගටම ලියන්න. පතෝලත් හොඳ කෑමක් තමයි 🙂
රය්ගම
මම කැමතිම කෑමක් පතෝල පතෝල හොදි ලුණු මිරිස් සහ උණු බත්
දිව්‍යම රැසක් . මම ලන්ඩන් වල මගේ ගෙදර කිහිප වතාවක් ම වවන්න හැදුව
එත් හිරි ගියේ නැහැ .
එතින් මචෝ මස් හොදිත් හොඳ නැහැ කියන කලේ ඔබ ලියන්න ඔබට ජය
ඊයා පතෝල හොදි නම් රහ නෑ. ඒත් පතෝල සම්බෝලේ හොඳයි. මීට පස්සේ පතෝල උනාට කමක් නෑ සම්බෝල හදන්ට. 🙂
පතෝලත් අත් ගුණය හොද කෙනකු හැදුවොත් රසම රස වැන්ජනයක් තමයි.දිගටම ලියන්න රයිගම,ඔබගේ ලිපි කියවන අයගෙන් කෙනෙක් මමත්.
හ්ම්ම්…. පතෝල රහ නෑ කියන්නෙ පතෝල හරියට උයන්න දන්නෙ නැති අය. ඒ වගේම පතෝල කියන්නෙ හරිම ගුණ කෑමක්. ආයුර්වේද වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවොත් කියයි.
මම නම් පතෝල වලට කැමතියි ඒ වගේම රයිගමගේ ලිපි වලටත් කැමතියි. රසයි වගේම ගුණයි. 🙂
රංගිලාට තියෙන මෙඩිටරේනියන් දේශගුණයට බැරි වුනත්, මම හිතන්නෙ ඕස්ට්‍රේලියාවෙ ට්‍රොපිකල් පැත්තට වෙනකොට ඕක එච්චර ගේමක් නෙවෙයි. රංගි බැලුවෙ නැද්ද ග්‍රීන් හවුස් ක්‍රමයයි හයිඩ්‍රොෆොනික්ස් ක්‍රමයයි. ඒකෙන් පුලුවන් පස් නැතුව වතුරෙ වවන්න ප්ලාස්ටික් ටියුබ් එකක් ඇතුලෙ. ගොටුකොල හෙම සාරෙට වැවෙනවා.
ඔබ කියන දෙයට පිළිතුර හැටියට තමා මගේ සටහන ලියල තියෙන්නේ රාජ්. පතෝල කියන්නේ මා කැමති කෑමක් කියා උඩින් ලියා තියනවා දකින්නට ඇතැයි සිතමි. මට මෙලෝ රහක් නැති බ්ලොග් තමා වැඩිපුර තියෙන්නේ. මා නම් ඒවා යලි යලිත් කියවන්නට යන්නේ නැහැ.
ඔව් මචන් කොමෙන්ටු දැම්මත් නොදැම්මත් මෙය උඹ බලන වග නම් දන්නවා. කොමෙන්ටු අවශ්‍යම නැහැනේ. සමහරවිට ලුණු වැඩියි. තවත් වෙලාවකට මිරිස් ටිකක් වැඩියි. මගේ රසේ හැටියට. හැබැයි මචෝ තුනපහ (ජාති වාදය, ආගම්වාදය, කල්ලි වාද වැනි) නම් වැඩිපුර නොවේ කොහොමටත් මට අරහන්. මාත් ඉස්සර කාපු හැටියට නොවේ මචන් දැන් කන්නේ. රන්ගිගේ හා උඹේ බිරිඳගේ කතන්දර ඇහුණාම මේකත් ලියන්නහිතුනා. මචන් ඔය වගාව සම්බන්දව මට තියෙන්නේ “නැචුරල් ඉන්ස්ටික්ට්” විතරක් නොවේ. “ටික දුරකට” මා ඒ සම්බන්ද විෂය හදාරලා තියනවා.
මා ගෙදර වත්තේ (මිදුලේ) ඔය පොඩි පොඩියට සමහර දේවල් වවනවා. වැඩිපුර මිරිස් තමා. මෙහෙ ඕස්ට්‍රේලියාවේ එක එක පලාත්වල දේශගුණය හා කාලගුණය වෙනස්වන හැටි ටිකක් විවිධයි. කැන්බරා ගත්තොත් මෙහෙ ශීත සමය ඕස්ට්‍රේලියාවේ නගර වලින් සැරම එකක් කියල කියන්න පුළුවන්. ඒ වගේම ග්‍රීෂ්ම ඉර්තුව ගත්තොත්, දවල් කාලයේ උෂ්ණත්වය ඉහල ගියාට රාත්‍රිකාලය එතරම් රත් වෙන්නේ නැහැ. පසේ උෂ්ණත්වය කොහොමටත් වැඩිපුර ඉහල යන්නේ නැහැ. සරලව කියුවොත් ඔය අප කැමති ඝර්ම කලාපීය එළවලු වර්ග හැදෙන්න, පරිසරයේ උෂ්ණත්වය එක දිගට සෙන්ට්‍රිගෙඩ් 20-30 අතර තියෙන්න ඕනේ. මෙහෙ එහෙම තත්වයක් නැහැ මචන්. පසුගිය ග්‍රීෂ්ම සමය ඇත්තටම ග්‍රීෂ්ම උනේ නැහැ. ගිය වසරේ මා වැඩකරන තැන සුද්දෙකු එතන හරිතාගාරේ වවපු බණ්ඩක්කා ගෙඩියකින් ඇට අරන් ඇවිත් නිකමට වත්තේ නිකම් පසේ සිටෙව්වා. ගස හැදිලා මලුත් ආවත්, ඉන් එහාට ගියේ නැත්තේ උෂ්ණත්වය ඉහල නොගිය හින්දා. මේ වර සමහර විට තත්වය ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හරිතාගාර වැඩේ ටිකක් වියදම් යන දෙයක් නිසා ඒ ගැන හිතන්නේ නැහැ. ඔවැනි එළවලු වවන්න හොඳ පළාත තමා උතුරු ඕස්ට්‍රේලියාව (Northern Territory). එහෙ හැදෙන පොල් තමා අප කන්නේ. ඝර්ම කලාපීය එළවලු බොහොමයක් එහි වගා කරනවා.
හරේ, ඔබ ප්‍රතිචාර දැම්මත් නොදැම්මත් මෙය බලන වග දන්නවා. අප එක විදිහක රසයකට කැමති අය. මාත් ඔබ ලියන දේවල් සේරම බැලුවත් කොමෙන්ටු දාන්නේ ලිය යුතුම යමක් හිතට එනවා නම් පමණයි. අර ප්‍රවීනලා ගේ වලව්වේ හදන ආකාරෙ පතෝල මැල්ලුම නම් කාල තිබුනත් මොජු පතෝල මට මතක ඇති තරමින් කාල නැහැ.
ප්‍රවීනලාගේ වලව්වේ කවදද අනේ පතෝල මැල්ලුම් හැදුවේ. එයා ඔය එලවලු ජාති කන්නෙත් නෑ. 🙂
පතෝල උනත් රසයි කොස් ඇට එහෙම දාල මිටි කිරෙන් හැදුවම.
පතෝල උනත් රයිගම් කොරටු වල හැදිච්චි එව්වනේ එක හින්ද අතහරින්නේ නැහැ
පතෝල විතරක් නෙමෙයි කට දන කට්ට සම්බෝල මස් හොදි ඌස්න, ගිනියම්, සෙම වඩවන එකී මෙකී කොයි අකාරෙත් බ්ලොග් වල බලපු බවට සලකුණක් වත් ඉතුරු කරන්නේ එහෙම කරන්න ඕනේ යයි දැනුනොත් විතරයි .
මා කොමෙන්ටු වලට නම් ලියන්නේ නැහැ තමා රංගි. නමුත් ලියන්නේ නම් කීප දෙනෙකුට හරි කියවන්න. එයින් එක අයෙක් ඔබ වීම ගැන මා සතුටුයි. මොකද ඔබත් අර “සාමාන්‍ය අච්චුවේ නොවන” කෙනෙක් කියලා ලියන දේවල් වලින් පේන නිසා. ලංකාවේ බේත් නොගහන එළවලු හොයා ගන්න පුලුවන්ද? මොනවද රංගි උයාගන්න බැරිද? 🙂 මා නම් හැම වේලටම මස් හෝ එයට සමාන අනිකුත් සත්ත්ව කොටසකින් හදා ගත් යමක් ඕනෑමයි. එක දවසක් ක්ෂේත්‍ර චාරිකාවක ගිහින් (තනිවම) ප්‍රාදේශීය පලාතක පොඩි කඩ මන්ඩියක කන්න යමක් හොයන කොට කුඩා ආපන ශාලාවක් දැකලා එහි ගියා. එම කුඩා නගරයේ වැඩිය කළු හමවල් දැකල තියෙන කට්ටිය නොමැති බව මට තේරුනේ මහා මග යද්දී. කඩේ තරුණිය මගෙන් ඇහුවේ මස් ජාති කනවද කියලා? මා හිනා වෙලා කියුවේ මස් විතරයි කන්නේ කියලා!
සෑම් මචන් කියවනවට ස්තුතියි! මාත් මචං ඔය හොදි වල වැඩිය විච්චුර්ණ රසයන් තියනවට ආස නැහැ. ඔබ කියන ජාති තුන නැගල යනවා. ලන්ඩන් වල හදන්න අමාරුයි. මා ටික කාලයක් හිටියා, බ්‍රියිටන් වල. එහෙ නම් උත්සහ කරන්න හරි පුළුවන්.
ඉකේයියා, මෙන්න මෙයා ආස කෑම ගැන ජරා කතා කියනවා! වලව් වල නම් ප්‍රවීනා අප්පුලා ඉන්නවනේ සම්බෝලද, නැත්නම් මොජුද, නැත්නම් හොද්දටද කියලා කියන පරක්කුවට හදලා දෙන්න. 😀
ඔබ විතරක් කියවන හින්දාම මෙය ලියන්න උනත් මට පුළුවන්. ඔබ අර කලින් කියපු දේ නිසා (නිකම් ඉන්න වෙලාවට මගේ පරණ සටහන් කියවනවා කියුව එක). කොහොමත් කෙන්ජි මෙහි “ඔබන” අය අති බහුතරය එන්නේ මොන හේතුවක් නිසා හරි ලංකාවෙන් නොවේ. ඔබගේ කොමෙන්ටු මා නිතරම අගය කරනවා (අද රජතුමාව අමතකයි වගේ :)).
ලකී ඔබගේ කොමෙන්ටුවටත් ගොඩක් තුති. ඒ වගේම ඔබ මිට පෙර ලියල තිබුන පරිදි ඔබත් මගේ සටහන් වල ස්ථිර පාඨකයෙක් කියා දන්නවා. මා දැන් නැති උනත් පොඩි කාලේ මුරුංගා ගස් වල නැග්ගා. එක අතකින් මුරුංගා හොද්දෙයි පතෝල හොද්දෙයි මහා ලොකු වෙනසක් නැති උනත්, මුරුංගා ගැන නම් කවුරුවත් අරම කියන්නේ නැහැ නේද?
ගොටුකොල නම් මචන් මෙහෙ වල් ගහක් වගේ වැවෙනවා. කන්න තමා ටිකක් අමාරු. ප්ලාස්ටික් වගේ. අර රසය නැහැ.
මොකක්ද අනේ වැඩ කරන්නේ නැත්ද? දවල් දොළහටත් බ්ලොග් එකේ. හවස හයටත් බ්ලොග් එකේ. ඔහොම රටක් හදන්න පුලුවන්ද? 😀
සොරි, කලින් කියන්න එපාය. මා නිකම් උපකල්පනය කළා. 🙂
සුසර ඔබ කියපු දේ තේරුම් ගත්තා. ස්තුතියි! ඒක නොවේ අර කතාව නම් හරියට හරි. කොස් ඇට සමග පතෝල හොද්ද. නියමෙට නැගල යන දෙයක්.
රය්ගම
බොහොම ස්තුති කොමෙන්ටුව පල කරට
කෝ අර පතෝල මොජුව හදන විදිය තාම දල නැහැනේ
මොකද නැත්තෙ රයිගම, මුරුංගාත් ගුණ කෑමක් තමා. වැඩිය කන්න නරකයි. ගිනියම නිසා 🙂
ඔව් ඔව්.. කතාව ඇත්ත. මුරුංගා අතු හයිය නෑ. හැබැයි ඉතින් පතෝල වැල් හොඳට හරියන්න මැස්සට හොඳ ඉනි ටිකක් හිටෝන එකේ වැරැද්ද මොකක්ද?
ප.ලි :මට නම් මුරුංගා හොදි අග්‍ර භෝජනයක්. ඒ වගේම සිංහල අච්චාරුවට මුරුංගා පොතුත්, කකුළුවන් හොද්දට මුරුංගා කොළත් අනිවාර්යයි. + රයිගම අත්තමට කමෙන්ට් නොකරන බව දන්නවා. 🙂
පතෝලයා!
ලකී, ඔය ගිනියම් සිතල කෑම කියන ඒවා ගැන මගේ නම් විශ්වාසයක් නැහැ. යමෙකුට ආසාත්මික වීමක් ගැන නේද ඔය කියන්නේ?
🙂 ඔබ කන්නාඩියක් ඉදිරිපිටද ඉන්නේ? 😀
එය දන්නේ හරේ පමණයි!
විස්තරයක් කරන්න හරියටම දන්නෙ නෑ රයිගම, අහගන්න තිබුණු හොඳම මූලාශ්‍ර රයිගම හන්දියෙන් වගේම මා ජීවත් වන ගෙදරිනුත් මැකිලා ගොඩක් කල්. මා උපදින්නත් දශක ගානකට පෙර!
පතෝල හොඳි සංසදයට මාවත් ඇතුල් කරගන්න 🙂
ඔබ මේකේ ඉන්නවනේ. ඇත්තටම මගේ බ්ලොගය නිතිපතා බලන සියලු දෙනාම පාහේ මේ සටහනට ප්‍රතිචාර දමල තිබීම එක අතකින් හොඳ දෙයක්. මා හැමදාම අනික් අයට මතක් කරන්නේ, ඔබ අසතුටු නම් කියවන්න එපා කියා. ඒ වගේම හසිත ගොඩක් දෙනා “කරවල හොදි” කියා වර්ණනා කරන සමහර බ්ලොග් මට නම් කියවන්නත් බැහැ. ඒකෙන්ම තේරෙනවනේ එයාලගෙත්, මගෙත් තියන පරතරය. එහෙම උනා කියා, මා ඒවායේ ගොස් ලියන්නේ නැහැ මේ මොනවාද ලියන්නේ කියා. හැමදෙනාටම එකම ලෝක දැක්මක් නැහැ. මේ බ්ලොග් වල හොඳක් තියෙන්නේ, ආර්ථික ලාභයක් හෝ රැකියාවේ ඉහල යාමක් අපේක්ෂා නොකරන නිසා හිතට දැනෙන දේ ලියන්න පුළුවන් වීම. පත්තර කාරයෙක්ට, ගුවන් විදුලි හෝ රූපවාහිනී නිවේදකයෙක්ට ඒ නිදහස නැහැ (කොතරම් නිදහස් කියුවත්). මා පිළිකුල් කරන දෙයක් තමා හසිත, ඒ නිදහස ප්‍රයෝජනයට අරන් ලිංගිකත්වය, ආගම්, ජාතින් හා කුල ගෝත්‍ර ගැන කාලකන්නි කතා ලියන පිරිසක් බිහි වෙලා තියන එක. මේවාට එරෙහි යයි කියන පිරිසත්, ඔවුනගේ “ආසාවෙන් බලන බ්ලොග් ගොඩේ” මේවා තියා ගෙන ඉඳීම මට නම් තේරුම් ගන්න පුළුවන් කරුණක් නොවේ.
ඔබ ලියල තිබුනේ බිසී කියලා. මා ඔබගේ අන්තිම සටහනට යමක් ලියන්න හදලත් නිකම් හිටියේ, වැඩක් නැහැ කියවන්න වෙලාවක් නැතුව ඇති කියල හිතල.
අයියෝ එහෙම දෙයක් නැහැ, බ්ලොග් සටහනක් ලියන්න තරම් වෙලාවක් නැතිවුණාට බ්ලොග් සටහනක් කියවන්න වගේම මගේ බ්ලොග් සටහනකට ආපු ප්‍රතිචාරයක් බලන්න බැරි තරමට තාම බිසී වුණේ නැහැ 🙂
අදනේ බොලේ මේ පතෝල කතාව දැක්කේ…
අර කිව්වත් වගේ මගේ කරෝල හොදි බ්ලොග් එකේ රහ දන්නේ…. වෙන කවුද ඉතින්… මමම මිසක්!
පතෝල? පතෝල වලට මොකුත් එහෙම කියනවා නෙවෙයි. මම ආසයි පතෝල මැල්ලුම්, හොදි ඔක්කොටම. දැන් ඔය බටු මෝජු හදනවා කිව්ව චණ්ඩියා කෝ දැන්?
ඇයි අද වලියටම එන්නේ? අයි ඔබගේ කරවල හොද්ද වෙනකාටවත් කන්න බැරිද?
ඒ ගොඩක් චන්ඩි දැන් මෙහෙ එන්නේ නැහැ. එන සමහර චන්ඩි පවා මේක කියවන වග පිළිගන්න කැමති නැහැ.
ඒකෙත් හැටි නේද? මම ඉතින් ගැම්මෙන් මොකක් ලිව්වත් වලියක් වගේනේ බොලේ පේන්නේ … ලෙඩක්ද මන්ද..
මගේ කරවල හොදි නම් ඔබ දන්නවත් ඇති ( නොදන්නවත් ඇති ) එකේ රස බලන උන් හොඳක් කියන්නේ කලාතුරකින්. මම ගණන් ගනීද ඕව! එහෙම ගණන් ගත්තනම් තව මොනවා වෙන්න තිබ්බද මට!
චණ්ඩි එන්නේ නැතය කිව්වා? හය්යු…. දැන් නේ බොලේ තැටිය රත් වෙන්නේ… උන් වෙන අහක ගිහින් වෙන්නැති.. මේ දවස්වල චණ්ඩින්ට හරි වැඩ. බුසි අප්පා… අනේ මේ මමත් චන්ඩියෙක් මෙහෙම උන්නට. දැන් කොමෙන්ටුවක් දැම්ම කියන්නේ කියෝනවා කියල පිළිගන්ට වෙනව කියන එකද?
කමක් නෑ අප්පා…
තැටිය රත් වෙන කතාව මොකක්ද?
මාත් ඕවා ගණන් ගත්ත නම්, මේ බ්ලොගේ වළදාපු තැන්වල දැන් රූස්ස ගස් හැදිලා. ඊ මේල් ගෙන්න ගන්නේ නිකම් කහනවටද? නැත්නම් කියවන්නද? 🙂
රයිගම සහෝ, මමත් නිතරම කරක් ගහන තැනක් බවට රයිගම හන්දිය පත් වුන එක හේතුවක් තමයි ඔබේ පතෝල හොද්දේ රස.
රස බල බලා හිටියට ගුණ කියන්න වුනේ නැහැ. ඒ නිසා හොද්ද හැඳි ගාන්න පටන් අරන් අවුරුදු හතරක් වුන මේ වෙලාවේ නමෝ විත්තියෙන් ආවඩා ආයුබෝවේවා කියල කිව්වා එහෙනං.
කියවීමටත් සුබ පැතුම් වලටත් ඔබටත් ස්තුතියි කෞශල්‍ය.
අප අප ගැන ලජ්ජා විය යුතු නැහැ. අපේ ආරම්භයන්ද එයටම අයිතියි. ඔබ මේවා කියවනවා කියන්නේ හොඳටම ඇති. ඉඳ හිට යමක් ලියන්නට හැකි නම් එය බෝනස් එකකි.