රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ (පීචන් රසිකයනට පමණයි)!


ප්‍රබුද්ද කියන අය ගැන දන්නවනේ. එවැනි කෙනෙක් නරඹන්නේ  නැති සයිමන් අයියගේ සංකල්පනාවක් වන එක්ස් ෆැක්ටර් වැඩසටහනේ ඕස්ට්‍රේලියානු 2013 වර්ශනයේ අවසාන කොටස තිබුනේ අදයි. මේකෙන් දිනුවේ ඩාමි කියන කොරියානු සම්භවයක් සහිත, ඕස්ට්‍රේලියානු තරුණිය. මේක ගැන ලියන්න නොවේ මා හැදුවේ. හැබැයි එය පැත්තකට දාල ඩාමි පළමුවන තැනට ආපු කතන්දරේ මුලින්ම ලියන්න හිතුනා.

තරඟයේ ආරම්භක අවධියේදීම ඩාමි කැපිලා ගියා. අර කතාවට කියන්නේ සාමාන්‍ය තේරීම් වලට අනුව “පොෂ්” තරුණියක් නොවුන ඇය මාකට් කරන්න බැරිය යයි මේ තරඟයේ සංවිධායකයන් හා විනිසුරු වරුන් හිතන්න ඇති. ඇය දෙමාපියන් සමග මෙහෙට ඇවිත් තියෙන්නේ අවුරුදු අටේදී. ඉංගිරිසි කියන්නේ ඇයගේ දෙවන භාෂාව. කුලෑටි ගතියෙන් යුතු ඇයගේ ගායන හැකියාවට වඩා මේවායේදී බලන අනෙක් කරුණු වලින් ඇය නිකම්ම යට යනවා.

ඔහොම තියෙත්දී, අන්තිමට තෝරා ගත්ත  එක කාණ්ඩයක තරුණයෙක් ආතතිය වැඩි වීම නිසා,  අයින් වෙනවා. ඩාමිට නැවත අඬ ගහන්නේ ඔහුගේ ඉවත් වීම නිසා ඇතිවුන අඩුව පුරවන්න. අන්න ඒ ලෙස ආපු කෙනා තමයි අන්තිමට ජයග්‍රාහකයා වුනේ. දැන් මේක මා කියන්න යන දෙයට අදාළ වන්නේ කොහොමද?

ඩාමි සමග අන්තිමට ඉතුරු වුන අනෙක් දෙන්නා “සුදු ජාතික ඔසී” තරුණයන් දෙන්නෙක්. දැන් රටේ වැඩිපුර ඉන්න කොට්ටාශය තමන්ගේ කමට චන්දය දෙනවා නම් ඔවුන් දෙන්නාගෙන් එක කෙනෙකු තමා දිනන්න ඕනේ. හැබැයි ඒක එහෙම වුනේ නැහැ. ජාති වාදය, නරුම කම, නොමිනිස් කම් යානාදී වශයෙන් අප අත් විඳින මේ ගුණාංගයන් හැම රටකම, හැම ප්‍රදේශයකම තියනවා. හැබැයි සමහර රටවල් වල සියල්ල තීරණය කෙරෙන්නේ මෙවැනි අයහපත් බලවේග විසින්. එහෙම රටක ඩාමි වගේ කෙනෙක් කිසිදා දිනන්නේ නැහැ.

රටකින් තවත් රටකට ඇවිත් ජිවත් වීමට නොයෙක් හේතු තියෙන්න පුළුවන්. මේවා විග්‍රහ කිරීම අපි ප්‍රබුද්දයන්ටම බාර දෙමු. හැබැයි එසේ ඇවිත් ජිවත් වීම ලෙහෙසි කරුණක් නොවේ. ඩාමි වගේම කැපිල යන අවස්ථා ඕනේ තරම් තියනවා. එයට වඩා වැදගත් වන්නේ ලැබෙන අවස්ථාවෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි. ඩාමි වගේම ජන්මය, පාට, උස, මිටි කම ගැන තැවෙන්නේ නැතිව ජීවිතය ජය ගන්න අයත් ඕනේ තරම් ඉන්නවා.

ජිවත් වන්නේ කොහෙද කියන දෙයට වඩා, මට නම් වැදගත් ජීවත් වන්නේ කොහොමද කියන එකයි. එයට අර්ථ නිරූපන ගොඩක් දෙන්න පුළුවන්. අද මා කියවපු ලිපියක තිබුනේ, ලංකාවේ “මාකට් කරන්න බැහැයි” කියන උපාධිධාරීන් ගැන. ලියා තිබුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න. එහි තිබුන කරුණු මා ලියන්නේ නැහැ. නමුත් එය ලියා තියෙන්නේ පසු ගියදා ලංකාවේ කතා වුන රැකියා සොයා ගන්න බැරි උපාධිධාරීන් පිලිබඳ කතාවයි, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගේ බුද්ධි ගලනය පිලිබඳ කතාවයි කියන දෙකම නිසා කියල මා හිතනවා.

මිල්ටන් කියන පරිදිම ලංකාව කියන්නේ ඉන්න ජනගහනය හා සසඳන විට ඉතා අඩු උපාධිධාරීන් ගණනක් ඉන්න රටක් (1000:1). මේ ලිපියෙන් කියන්නේ එහෙම තියෙත්දිත්, ඒ ඉන්න ගණනට වත් රස්සා නැත්තේ ඇයි කියන එක.

මා කලින් ලියුව සටහනක තිබුනේ, මේ ඉංගිරිසි නොදැනීමත් රැකියා සොයා ගන්න බලපානවා කියල. එහිදී සමහරුන් කියල තිබුන පරිදි මා ලියුවේ, ඉංගිරිසි නිසා රැකියා උපදිනවා කියල නොවේ. තියන රස්සා දෙක තුනට තේරීමේදී කපලා දාන්න, නැත්නම් කැපිලා යන්න මේකත් හේතු වෙනවා කියලා.

ඇත්තම කියනවා නම්, වෛද්‍ය, පශු හා ඉංජිනේරු වගේ ක්ෂේත්‍ර කිහිපයක් හැරුණු කොට, සාමාන්‍ය විෂය මාලාවක් හදාරන කෙනෙකුට වෙන් කරපු රැකියා නැහැ. ගොඩක් අවස්ථාවල  රැකියාව ඉගෙන ගන්නේ, රැකියාව තුලින්මයි. මා කෙටි කතාවකින් ලියුවා වගේ, මේ පිරිස් සියල්ලන්ම තරඟ  කරන්නේ වෙළඳ පොලේ තියන ඉතා සීමිත අවස්ථා කිහිපයකට. වැඩිදුර ඉගෙනීමක් තියන කෙනෙකුගේ ප්‍රවේශය විතරයි වෙනස් වන්නේ. ඒ කතාවත් වැරදියට තේරුම් ගත්තේ.

සමාජය වෙනස් කරන්න හැකි අවස්ථාව තිබෙන පිරිස් (ඇත්තටම සහෝදරයා රටේ නායකයා වීම නිසා හෝ) කළ යුත්තේ සැබෑ රැකියා ජනනය වන ආර්ථිකයක් ගොඩ නැගීමයි. විශේෂයෙන් බටහිර රටක ජිවත් වුනා නම්, එය කරන්න පුළුවන් කොහොම දැයි යම් හැඟීමක් තියෙන්න ඕනේ. රට හැර යන්න අවශ්‍යතාවයක් නැහැයි කියන්නට කලින්, තිබෙන රැකියා අවස්ථා මොනවාද යන්නත් පෙන්වා දුන්නා නම් හොඳයි නේද?

ලංකාවේ මේ දිනවල කතා බහට ලක්වෙලා තියන ඕස්ට්‍රේලියානු ධන කුවේර පැකර් ගේ කැසිනෝ වැනි ව්‍යාපෘති මගින් මේ ජනනය කරන්න බැහැ. ඒ ගැන ඕනේ තරම් ලියවී තියනවා. ඕස්ට්‍රේලියානු පුවත් පත් පවා, මේ “ඩීල්” එකේ තියන (පැකර්ට) අසීමිත වරප්‍රසාද ගැනයි ලියා තිබුනේ. කැසිනෝ වැනි සූදු පොළවල් වලට ඉඩ දීම මගින් ආණ්ඩුවක් බලාපොරොත්තු වන්නේ, ඒවායින් ලැබෙන විශාල බදු මුදලයි. මේවායින් කෙරෙන අනෙක් සමාජ හානිය නොසලකන්න ආණ්ඩු කටයුතු කරන්නේ ප්‍රධාන වශයෙන් ඒ නිසා. මේ ගැනත් පසුගිය වසර දෙක තුන මුළුල්ලේ ඕස්ට්‍රේලියාවේ විශාල ලෙස කතා බහ කෙරුනා.

ඉතිං මේ වගේ සමාජයට ඇත්තටම හානියක් කරන ව්‍යාපාර කටයුත්තකට අධික බදු සහන (වෙනත් ශිෂ්ට ව්‍යාපාර වලටත් නොමැති) දී, ඩීල් එකෙන් ගතමනාවක් රජ පවුලේ සාක්කුවට දමා ගන්නවා කියන්නේ, සමාජයට කිසිම දෙයක් ලැබෙන්නේ නැතිය කියන එක. ඕස්ට්‍රේලියාව කරනවා වගේ, එම බදු මුදල් සෞඛ්‍යයට, යටිතල පහසුකම් වලට වගේ පොදු යහපතට යොදවන පරිසරයක නම්, මේවා යම්තාක් දුරට සාධාරණිය කරණය කරන්න හැකියි.

ඒ කතා කෙසේ වෙතත් මා නම් ඉපැදුන හෝ ඉගෙන ගත් රටවල් වලම ජිවත් වෙන්න නොහැකි වීම කනගාටුවට හෝ ලැජ්ජාවට කරුණක් ලෙස සිතන්නේ නැහැ. මෙහෙම ඉපදුන හා ඉගෙන ගත්ත තැන් වලම අප ජිවත් විය යුතු නම් මගේ ජීවිතය ඉතා අසීරු වෙනවා.

හෙන්රිගේ පිළිතුරට අවශ්‍ය දත්ත කිහිපයක්!

Doc1

Doc2

Doc3

29 Comments

Filed under Careers/Employments, Education, Opinion, Social

29 responses to “රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ (පීචන් රසිකයනට පමණයි)!

  1. ඉපදුනු හා ඉගෙනගත්ත රටවල් කෙසේ වෙතත් තමන් කැමති තැනක් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන වාක්‍යය නම් පට්ටපල් බොරුවක්. ඒ වගේම සංවර්ධිත රටකට සංක්‍රමණය වීමේදී තමන් ලෝකේ කොහේ ඉඳන්ද එන්නේ කියන කරුණත් බලපානවා. දකුණු ආසියානුවෙකුට වඩා කලු අප්‍රිකානුවෙකුටත්, ලාංකික සිංහලයෙකුට වඩා ලාංකික ද්‍රවිඩයෙකුටත්, ලාංකිකයෙකුට වඩා ඉන්දියානුවෙකුටත් සංවර්ධිත රටකට සංක්‍රමණය වීමේ අවස්ථාව සාපේක්ෂව වැඩියි.

  2. මේ කතාව නිවරදිද?

    මට හිතෙන පරිදි මෙතන තියෙන්නේ දෙමල අයට, අප්‍රිකානුවන්ට අවස්ථා වැඩිවීමක් නොව, තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගැනීම සහ අවස්ථා සහ අවශ්‍යතා පිළිබඳ ප්‍රශ්ණයක්.

    පසුගිය කාලය තුල ලංකාවේ ප්‍රශ්න නිසා ලංකාවේ මා සමග ඉගෙන ගත් දෙමල අය හුඟ දෙනෙක් දැන් විදෙස් රටවල. නමුත් සිංහල අය අති බහුතරය ලංකාවේ. සැමට තිබුණු අවස්ථා සමාන වුනත් අවශ්‍යතාවය වෙනස්.

  3. මා නම් ඔය රියලිටි ෂෝ බලන්නේ ම නෑ. ප්‍රබුද්ධකමකට නොව කොහොමටත් ටීවී බැලීම එපාවෙලා නිසා. කාර් එකේ යනකොට නිවුස් හරි සින්දුවක් හරි අහන එක ඊට වඩා දාහෙන් සම්පතයි.

  4. ලංකාව කියන්නේ රයිගම් තවමත් “සියලුම අංශයන්” මගින් දියුණු නොවූ රටක්නේ… ඉතින් රටේ ඉන්න “සියලුම ශ්‍රමිකයන්” සඳහා රැකියා නැති වෙන්න පුළුවන්..

    මැදපෙරදිග බලන්න.. ඒකෙ අනික් පැත්තනේ.. ඒ රටේ ස්වදේශිකයෝ බොහෝමයක් බොස්ලා.. ලෝකේ අනික් රටවල් වලින් එහාට මිනිස්සු යන්නේ සේවකයෝ විදිහට… රැකියා වෙළඳපොළ කියන්නේ ඕකයි… ( මේක එච්චර සිල්ලර නැහැ හොඳද )

    අපේ රටේ තාම එහෙම තත්වයක් නැහැනේ..ඉතින් රටේ ඉන්න පිරිසටවත් රැකියා නැහැ… ( ඒකට හේතුව 48 සිට දේශපාලනිකව අවුල් වූ ගමන.මගේ උපාලි මැස්ඩා ලිපිය දකින්න ඇතිනේ ඔබ )
    _________________________________________

    මොකක්ද මේ සංක්‍රමණය වීම ගැන කතාව රයිගම් …? එතනත් තියෙන්නේ ඉල්ලුම් සැපයුම් කතාව නේද …? ( දේශපාලනිකයි හැබැයි )

  5. ඩූඩ්…..මේ ෆිගර්ස් පොඩ්ඩක් බලපන්.

    2011 Census data[edit]
    According to the 2011 Census, the ethnic composition of the United Kingdom was as set out in the table below.
    Ethnic group 2011
    population 2011
    %
    White 55,010,359 87.1
    White: Irish Traveller/Gypsy 63,193 0.1
    Asian or Asian British: Indian 1,451,862
    2.3
    Asian or Asian British: Pakistani 1,173,892
    1.9
    Asian or Asian British: Bangladeshi 451,529
    0.7
    Asian or Asian British: Chinese 433,150
    0.7
    Asian or Asian British: Asian Other 861,815
    1.4
    Asian or Asian British: Total 4,373,339
    7.0
    Black or Black British 1,904,684
    3.0
    British Mixed 1,250,229
    2.0
    Other: Total 580,374
    0.9
    Total 63,182,178
    100

  6. ඩූඩ් මේක නම් මටත් පිළිගන්න බෑ.
    දෙමළ සිංහල ප්‍රශ්නයක් හෝ අප්‍රිකන් හෝ සවුත් ඒසියන්ස්ලට ඔහොම ප්‍රශ්නයක් නෑ කියලයි මගෙත් අදහස.
    සාමාන්යයෙන් ඔය කියපු රටවල ජනතාව සාමාන්‍ය පොදුජන ජීවිතයට බලපෑම් කරන්නෙ නෑ කියලා පිළිගැනීමකුත් තියෙනවානේ.

  7. ප්‍රබුද්ධකමද මන්ද මාත් රියලිටි ටී වී නම් බලන්නේ නෑ. මට ඒක මහ විකාරයක්. ඒත් සමහර රියලිටි ප්‍රෝග්‍රෑම් තිබුනා ටිකක් වැදගත් විදියට කල. දැන් නම් ඔක්කොම එකම අච්චාරුව වෙලා. හැමරටේම කොපි විතරයි අන්තිමට.
    දෙවෙනි පරම්පාරවේ ළමයි තවදුරටත් විදේශිකයන් වෙනවද? මට හිතෙන්නේ එහෙම නෑ කියලා. මේ දවස් වල අපිත් වැඩියම කතා කරන දේ මේක.

  8. kathandarakaraya

    මට මෙහෙමත් හිතුණා.

    සමහර විට අපාතයිඩ් කාලේ ස්වදේශික දකුණු අප්‍ර්‍රිකානුවන්ට, මුගාබේ ගේ, කීනියාටා ගේ පීඩිත ජනකොටස්වලට සහ යුද්ධ කාලේ ලංකාවේ දෙමළ අයට “සරණාගත” විසා ගන්න වැඩි අවකාශයක් තියෙන්න ඇති.

    නමුත් සිංහල අයත් සරනාගතයින් ලෙස ගිහින් තියෙනවා සෑහෙන්න ජවිපෙ කලබල කාලේ සහ පසුවත් පොලීසිවල, ආමිවල හිරිහැර වින්ද අය.

  9. හිරු

    රියැලිටි කිව්වම ලංකාවෙ ඒවා නං බලන්නෙම නෑ මං… ඉඳලා හිටලා යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බලන්න ගත්තම අර පැත්තෙන් තියෙන ඒවා එපා වෙනකම් බලල නවතින නිසා එක්ස් ෆැක්ටර් බලල තියෙනව.. හැබැයි ඒ පරණ ඒවා වෙන්න ඇති…

    සංක්‍රමණය වීම් ගැන නං කියන්න තරං දෙයක් දන්නේ නෑ.. හැබැයි අපේ රටේ රැකියා ක්ෂේත්‍රවල තියෙන මට පේන අවුලක් තියෙනව… ඒ තමයි සැලරි වල ලොකු පරතරයක් තිබීම…. තාමත් ඔෆිස් එකක ටයි එකක් දාගෙන කම්පියුටරයක් දිහා බලාගෙන, පැය අටක් වැඩ කරන ටෙක් මැනේජර් ( උපාධි ඇති හෝ නැති…) කෙනෙක් සහ ඒ කම්පැණියෙම ටෙක්නිකල් අංශයේ පැය 12ක් වැඩ කරන ටෙක්නීෂියන් කෙනෙක් අතර බොහෝවිට රැපියල් 50000කට වැඩි පරතරයක් තියෙනව.. එතනදි ඇත්තටම කිව්වොත් දක්ෂතාවයට වඩා සැලකිල්ල තියෙන්නෙ අධ්‍යාපනයට තමයි…ඒත් බොහෝ වෙලාවට අධ්‍යාපනය කියන්නේ දක්ෂතාවය නෙවෙයි… අධ්‍යාපනය කියන්නේ උපාධියත් නෙවෙයි… ඉතිං මේ ආදායම් පරතර ප්‍රශ්නෙ නිසා මෙහෙ ටෙක්නීෂියන් කෙනෙක්ට උනත් ලංකාවෙ වැඩ කරනවට වඩා පිටරටකට යන එක හොඳයි….

  10. කතන්දර, බූරු බබා සහ අරූ, ඔබ තුන්දෙනා ඉදිරිපත් කරන තර්කයට වඩා මට හිත ගියේ ඔබ තුන්දෙනාම විරුද්ධ මතයක් පළ කරන්න උපයෝගී කරගත් සංයමයයි. ඕක තමයි දැන් බ්ලොග් ලෝකේ නැත්තෙත්. මම ඒක හුඟක් අගය කරනවා. නමුත් මම මේ ඔස්සේ තව දුරටත් තර්ක කරන්න නොයන්නේ අලුතෙන් සම්බන්දවන කෙනෙක් ඔය තරම් ශිෂ්ඨ සම්පන්න නොවෙන්න හැකි නිසා. ස්තුතියි තුන්දෙනාටම. 😀

  11. හෙන්රිය..උඹත් දැන් අපේ උසස් අද්දියාපනය ගෙ ගානටම ඇවිල්ල..වගේ..නේද මචෝ…???
    වැල යන අතට ගහපන් මැස්ස… 🙂
    නියමයි…

  12. >>ඒ කතා කෙසේ වෙතත් මා නම් ඉපැදුන හෝ ඉගෙන ගත් රටවල් වලම ජිවත් වෙන්න නොහැකි වීම කනගාටුවට හෝ ලැජ්ජාවට කරුණක් ලෙස සිතන්නේ නැහැ. මෙහෙම ඉපදුන හා ඉගෙන ගත්ත තැන් වලම අප ජිවත් විය යුතු නම් මගේ ජීවිතය ඉතා අසීරු වෙනවා.<<
    ඉතා වටින වචන ටිකක්.
    මා දන්නා තරමින් '83 නේ පිටරට යන්න ගත්ත පටන් ගැන්ම අද වැඩිවෙලා.
    එදා යා හැකිව තිබු පහසු මාර්ග අද වෙද්දී ඇහිරිල කියල මට හිතෙනව.

  13. //ඉපදුනු හා ඉගෙනගත්ත රටවල් කෙසේ වෙතත් තමන් කැමති තැනක් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන වාක්‍යය නම් පට්ටපල් බොරුවක්// මෙහෙම වාක්කියක් මා නම් ලියල නැහැ මචං. නමුත් එහෙම කතාවට කියන බව මා දන්නවා. මා ලියන කොට ටිකක් හිතල ලියන්නේ. වරදක් කලොත් හිතකින් නොවේ නිසා එවෙලේම හදනවා කවුරුන් හෝ පෙන්නලා දුන්නොත්.
    දැන් උඹගේ කතාව ගත්තොත් මෙතන කරුණු දෙකක් තියනවා. එකක් තමා අභ්‍යන්තර සංක්‍රමණය. එතැනදී අප බලාපොරොත්තු වන්නේ රටේ ඕනෙම පුර වැසියෙකුට, රටේ කැමති තැනක (පදිංචියට සුදුසු යයි වෙන් කළ මිසක් ඔය අභය භුමි වල නොවේ) ජිවත් වීමට ඇති අයිතිය නීතියෙන්ම තහවුරු කරලා තිබීම. එතැනදී සම ලිංගිකද, උභය ලිංගිකද, නැත්නම් උසද කොටද යනුවෙන් යම් අයෙකුට හෝ පිරිසකට වෙනසක් නොකිරීම අදහස් වෙනවා. හැබැයි ප්‍රායෝගික තත්ත්ව යටතේ එය නීතියක් විතරයි. මොකද කෙනෙකුට බාන්ස් පෙදෙසේ නිවසක් ගන්න කැමති වුනත් හැකියාවක් නැති වෙන්න පුළුවන්. එතකොට මා කැමති වුනත් එතන ජිවත් වෙන්න බැහැ.

    අනික තමා රටවල් අතර සංක්‍රමණය. මිනිසා මේ නීති හදා ගන්නට පෙර නම්, ඔය ලොරන්සොද අල්මේදල හා අසවේදුලා කසිප්පු ටිකක් හා තුවක්කු හා වෙඩි බෙහෙත් ටිකක් ඔය නැවක දාගෙන ඇවිත්, රටවල් වලට ගොඩ බැස්සා (මේවා අවුරුදු පන්සියයක් ගියත් ජාතියේ අභිමානයන් කියා සමරන පිරිසකුත් ඉන්නවා). අද එහෙම කරන්න බැහැ (ඇමෙරිකාවට හැර). අර ජෝන් හාර්වර්ඩ් අයියා කියුවා වගේ රට රටවල් තමා තීරණය කරන්නේ තමන්ගේ “රටට එන්නේ කවුද, කොයි තත්ත්ව යටතේ කොහෙන්ද කියා”. මෙතනදීත් බලාපොරොත්තු වන දෙයක් තියනවා. එනම් එයාල රටට ගන්න විදිහ කාටත් එකක් විය යුතු වීම. එතනදිත් හැම දෙනාටම සමාන අවස්ථා ලැබෙනවා කියන එක නොවේ. අර ස්වභාවික වරණයේදී හැම සතාටම අහඹු අවස්ථා ලැබෙන්නේ නැහැනේ, ජිවත් වීම පිණිස. අන්න ඒ වගේ මෙතනත් නිර්ණායක හැම දෙනාටම එක සේ බල පවත්වනවා කියන එකයි අදහස් වෙන්නේ. එතකොට නිර්ණායකය සපුරන දෙනා කොහේ හිටියත් රටට ඇතුළු වීමට සමාන අවස්තාව තියනවා. හැබැයි මෙය තව දුරටත් සාධාරණ වනු පිණිස බිලියනයක් ඉන්න ඉන්දියාවට දෙන උපරිම අවස්ථා ගණන ගණන මිලියන විස්සක් ඉන්න ලංකාවට දෙන්නේ නැහැ (ඕස්ට්‍රේලියාව මෙවැනි කුඕටා ක්‍රමයක් අනුගමනය කරනවා).

    උඹ කියන අප්‍රිකානු රටවල් වල හෝ ඉන්දියානුවන්ට අපට වඩා වැඩි හැකියාවක් මෙවැනි රටක විසා ගන්න තියනවා කියන එක මා විශ්වාස කරන්නේ නැහැ. අප්‍රිකානු මහාද්වීපයේ ඕනෙම රටක ඉන්න මිනිහෙකුට අධ්‍යාපනයට ඇති පහසුකම් හෝ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වඩා වැඩි හැකියාවක් ලංකාවේ සාමාන්‍ය මිනිහෙකුට තියනවා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය ගැන දත්ත ඇතුලත් සටහනක් මා ලියන්න හිටියත් ඒ අදහස අත්හැර දැම්මේ කරුණු කීපයක් නිසා.

    ඒ කෙසේ වෙතත් දත්ත සටහන් තුනක් මා ඉදිරි පත් කරන්නම් (මගේ සටහන අවසානයේ ඇති ඇමුණුම් බලන්න). ඒ සටහන් වලින් උඹට තේරේවි ලංකාවට වඩා මිලියන ගණන් ඉන්න රටවල් හා සසඳන විට ඕස්ට්‍රේලියාවට ලංකාවෙන් එන පිරිස වැඩිය කියා. චීනය හා ඉන්දියාව විතරක් ගත්තත් බිලියන දෙකකට වැඩි පිරිසක් මේ රටවල් දෙකේම ජිවත් වෙනවා. ඕස්ට්‍රේලියාවට එන කුසලතා සංක්‍රමණිකයන් ගැන කියවෙන විට ලංකාව ඉදිරියෙන්ම ඉන්නවා. අපේ රට ප්‍රධාන රටවල් 10 ට අයත්. ඒ එක්ක තියන අනික් රටවල් නමයේ ජනගහනය දිහා නිකමට බලපන්.

    ලංකාවෙන් මිනිසුන් සංක්‍රමණය වීම නැතහොත් බුද්ධි ගලනය ලංකාවට යහපත් දෙයක් කියා මා සිතන්නේ නැහැ. කොහොම වුනත් රටහැර යන සියලුම දෙනා එහෙම යන්නේ ආර්ථික හේතුන් නිසාම නොවේ. මා සඳහන් කල ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය දා කරපු (keynote) කතාවක තිබුන එක කරුණක් තමා මේ බුද්ධි ගලනය නිසා ලංකාවට වන හානිය. ඔහු කියල තිබුනේ දැන් ලංකාවේ තියන අවස්ථා වැඩියි, රට හැර යාමට අවශ්‍යතාවයක් නැහැ කියා.

    රටක ප්‍රතිපත්ති සම්පාදකයන් හා ඒවා ක්‍රියාත්මක කිරීමට කෙලින්ම සම්බන්ධ පිරිස් මෙවැනි දේවල් හිතන එක ඉතා හොඳ කරුණක්. නමුත් අලංකාර මං මාවත් හා උද්‍යාන වලට අමතරව, රටක බිහිවන උගතුන් හා ශිල්පීන්ට බලපාන වෙනත් කරුණු තියනවා. ප්‍රධාන දෙය නම් අධ්‍යාපනයේ පුළුල් වීම් වලට සමාන්තරව රැකියා ජනනය වීමත් සිදු වෙන්න වැඩ සිද්ද කිරීමයි. මෙය නිදහස් වෙළඳ පොලටම ඉඩ දීල අතපිහ දා ගත්තු රටක් නැහැ. අනික තමා ජනගහනයේ වර්ධනයට සමාන්තරව අධ්‍යාපන අවස්ථාත් පුළුල් වීමට ප්‍රස්තාව සැලසීම. රජයට තනි බරන්න බැරි නම්, මුදල් ගෙවා ඉගෙනීමේ ශක්තිය ඇති පිරිසට ඒ අවස්තාව ලබා ගැනීමට ඉඩ දෙන්න ඕනේ.

    ලංකාව ගත්තොත් ඉතා කුඩා භූමියක්. අපේ පොලව සරුසාර නැහැ. අපට මහා සම්පත් නැහැ. දැනට ඉතුරු වෙලා තියන කැලේ ටික කපල වගා කරන්න බැහැ. රටේ ජනතාවට හා කර්මාන්ත වලට අවශ්‍ය කරන බලශක්තිය නිපදවීමට අමුද්‍රව්‍ය රටේ නැහැ. පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් උපයෝගී කර ගන්නා තාක්ෂනයන් සාපේක්ෂව තාම ගණනින් ඉහලයි.

    ඒ අතරේදී දැනට ඉන්නා ජනගහනයත් සාපේක්ෂව විශාලයි. ඥාන අසාර කට්ටිය කියන පරිදි තව දෙතුන් දෙනා පවුලක හැදුවොත් තවත් ජරමරයක්. ඒ කියන්නේ ඉතා ඉහල ආර්ථික සංවර්ධන (10% වැනි) වේගයක් එක දිගටම පවත්වා ගත්තොත් මිස රටේ සියලුම දෙනාට රැකියා ජනනය කිරීම ගැටලුවක්.

    මා පෞද්ගලිකව හිතන දෙයක් තමා “ජනතාව අපනයනය” අපේ රටේ එක ආර්ථික අංගයක් විය යුතුයි. එයට ජනතාවට අධ්‍යාපනය දෙන්න ඕනේ. පුළුවන් අයට මුදල් ගෙවා ඉගෙනීමට අවස්තාව දීමෙන් බදු මුදල් මේ සඳහා වැය වීම අඩුකර ගන්න පුළුවන්. ඒ වගේම අපේ ජනතාවගේ ටැලන්ට් පූල් එක විශාලයි. රටේ සංවර්ධයට අවශ්‍ය කරනවාට වැඩි ශිල්පින් පිරිසක් බිහි කරන්න පුළුවන්. අපේ පිරිස් සාමාන්‍යයෙන් ඕනෙම පරිසරයක ජාම බේරාගෙන ජිවත් වෙනවා. ඒ වගේම ශිල්පීන් වශයෙනුත්, සාමාන්‍ය මිනිසුන් වශයෙනුත් අපකීර්තියක් නැහැ. බෝක්කු උඩ රස්තියාදු ගහන දේශප්‍රේමීන්ගෙන් රටට හෝ ආර්ථිකයට වැඩක් නැහැ. ඔවුන් ලෝකයටම බරක්.

    ඒ වගේම රටේ පිරිස් වෙන රටවල් වල ගිහින් හම්බ කරලා මුදල් එවීම මගින් ණය ආර්ථිකය ගැටගහගෙන යාම දීර්ඝ කාලීනව බහුතර ජනතාවකට යහපතක් කරන්නේ නැහැ. රටේ නිෂ්පාදන හා සේවා රැකියා නොමැතිව බහුතර පිරිසක් ඉතා අඩු ආදායම් ලබන අතරේ, සුළු පිරිසක් පමණක් රටින් මුදල් ගෙනත් වියදම් කිරීම නිසා උද්ධනය කෘතීම ලෙස ඉහල යන්න පුළුවන්. ඒ අයගේ වැය කිරීමේ ශක්තිය වැඩි නිසා ඉඩම්, ආහාර, යාන වාහන මිල අනෙක් අයට දරා ගන්න බැරි වෙන තරමට වැඩි වුනොත්, ඔවුන්ගේ දුප්පත්කම තවත් ඉහල යනවා (මා ආර්ථිකය ගැන ඉගෙන ගෙන නැහැ). එතකොට මේ රටින් යන කට්ටිය විතරයි නරක, තාවකාලිකව රට ගිහින් මුදල් එවන කට්ටිය රටේ ජීවනාලියයි කියල කියන එකේ තාවකාලික සැනසීමක් විතරයි තියෙන්නේ (මෙය අදාළ වන්නේ මා පසුව කියවපු වෙනත් බ්ලොග් සටහනකට).

  14. නිකං

    //වැඩිදුර ඉගෙනීමක් තියන කෙනෙකුගේ ප්‍රවේශය විතරයි වෙනස් වන්නේ
    රයිගම් ,මේං මේ කතාව චුට්ටක් පැහැදිලි කරනවද
    //ආණ්ඩුවක් බලාපොරොත්තු වන්නේ ඒවායින් ලැබෙන විශාල බදු මුදලයි.
    අරක්කු සිගරට් වලිනුත් එහෙමයි.බදු නැති වුනොත් අරක්කු සිගරට් නාන්න පුළුවන් 🙂
    අම්මේ එහෙම ලොවක් කවදා ඇති වෙයිදෝ

  15. රටවල් තුනක ජිවත් වන තුන් දෙනෙක් හෙන්රි ඔබට උත්තර දීල තියෙන්නේ. මා ඒවාට යමක් එකතු කරන්නේ නැහැ. 🙂

  16. හවසට පවුලේ සියලුම දෙනා සමග නරඹන්න පුළුවන් මේ වගේ දෙයක් මා ඉඳ හිට බලනවා. හැබයි දීර්ඝ කාලයකට පසුව මුල සිට බලපු වැඩසටහනක් තමා මෙය. මාත් සින්දු අහනවා ඔබ වාගේම.

  17. 1976 දී තිබුන නොබැඳි සමුළුවට සිරිමා කොළඹ හිඟන්නන් ඇල්ලුවා කියල අප පාසල් යන කාලේ ඇසුනා. අද අවුරුදු හතළිහකට පසු තව සමුළුවකට අල්ලනවා. එදා හදපු රැඳවුම් කඳවුරේ ඉඩත් නැහැලු. එදත් ආවේ ඔය ගඩාපිල වගේ ඒකාධිපතියන්, අදත් එන්නේ ස්වාසිලන්තයේ වගේ ඒකාධිපතියන්. මෙයාලට කන්න දුන්නාය කියල මිනිසුන්ට නම් කිසිදා සෙතක් නැහැ. අනික ඔය ස්වසිලන්තේ අය විතරක් නොවේ, මව්බිමේ කැමරන් ලා පවා අපගේ පොහොසත්කම හිඟන්නන් නොදැක්කත් දන්නවා.

    මෙහෙමයි සහන් මිනිසුන්ගේ දුප්පත්කම ගැන ඇත්තටම ලජ්ජා වන පාලකයන් තමා අපට අවශ්‍ය. මේ වගේ සෝබන වැඩ වලට නොවේ. දුප්පත්කම නැති කරන ක්‍රමබවත් වැඩ සටහනක් හදන්න පුළුවන් එවැනි ජන නායකයෙකුට/කයන්ට විතරයි.

    ඔබගේ මැස්ඩා කතාව මා දැක්කා. කාර් නිෂ්පාදනය ලංකාවේදී එදා පටන් ගත්තත් කොයි තරම් තිරසාර වෙයිද කියන ප්‍රශ්නය නම් මට තියනවා. හැබැයි රටක කරන්න පුළුවන් නිෂ්පාදනයන් කිරීම අනිවාර්ය අංගයක් විය යුතුයි.

    සංක්‍රමණය වෙනම කතාවක්. එය ගැන මා හෙන්රිට ලියුව පිළිතුරේ තියනවා. මගේ අදහස් නිවහල් නැහැ. එක පැත්තකට බර වෙන්න පුළුවන්.

    මොනවා වුනත්, පිළිතුරු ලෙස මේවා ලියුවත්, මට ප්‍රධාන වශයෙන් රටක ප්‍රතිපත්ති සම්පාදකයන් සිතිය යුතු දේවල් නොවේ ලියන්න අවශ්‍ය වුනේ. ඒකීය පුද්ගලයෙකුට හිතන්න පුළුවන් කරුණු ටිකක්. තමන් ජිවත් වන සමාජයේ මිසක්, වෙනත් සමාජ වල ප්‍රශ්න විසදන්න උත්සහ කරන එකේ නිෂ්ඵල භාවය මා කලින් ලිය තියනවා. අප වැනි සංක්‍රමණිකයන් රිමෝට් කොන්ට්‍රෝල් මගින් ලංකාවේ ප්‍රශ්න විසඳන්න උත්සහ කිරීම විහිළුවක්. හිතන්න ඕනේ තමන් ජිවත් වන සමාජේ ප්‍රශ්න ගැන. මා පටන් ගත්තේ එහෙම දෙයක් ගැන ලියන්න.

    මේ ඕස්ට්‍රේලියාවේ පවා නිෂ්පාදනයන් ක්‍රමයෙන් හීන වී යන සැටි ගැන අපට නිතර අහන්න ලැබෙනවා. හැබැයි මිනිසුන්ගේ පරිභෝජන රටාවන් හා ජිවන විලාසිතාවන්ට තමන්ගේ රටේ නිෂ්පාදනය රැක ගන්න ඕනෙය කියන හැඟීම ගාවා ගෙන නැහැ.

  18. දෙවෙනි පරම්පරාව තියා සංක්‍රමණය වී පුරවැසිභාවය හිමි අයත් විදේශිකයන් වෙන්නේ නැහැ රංගි. නමුත් ඒ හැමෝටම නොවේ. මේ තරුණිය දිනපු එකට සමාජ ජාල වල ජාති වාදී කතා තිබුන බව මා අද දුටුවා. නමුත් එය නොවේ ප්‍රධාන දෙය. බහුතර පිරිසක් ඇයගේ ජාතිය හෝ ජන්මය සැලකුවේ නැති එක.
    ඒ අතින් ලංකාවේ වසර දහස් ගානක් ඉන්න පිරිස් පවා, උඹල මේ රටට අයිති රටේ නැතිය කියන එක ගැන මොකද හිතෙන්නේ? ඒ කියන පිරිසත් බහුතරය නොවන්න පුළුවන්. නමුත් ඔවුනට ලැබෙන ප්‍රචාරය හා රාජ්‍ය අනුග්‍රහය නින්දිතයි.

  19. ලංකාවේ රැකියා වල වැටුප් ගැන මා යාවත්කාලින නැහැ හිරු. ඒ නිසා ලියන්න දෙයක් නැහැ. මැනේජර් කෙනෙක් වැඩි පඩියක් ගන්නවා ඇත්තේ ඔහුගේ වගකීම්ද වැඩි නිසා නොවේද? ටෙක්නිශියන් කෙනෙක් වැඩියෙන් වැඩ කලත්, ඔහුගේ කාර්යය වෙනස්නේ. කොහොම වුනත්, තමන්ගේ ශිල්පිය දැනුම ලබා ගැනීම සඳහා ජිවිතයෙන් වැඩි කාලයක් ගත කරපු කෙනෙක්, බලාපොරොත්තු වන අදායමක් නොමැති වුනහම ඉච්චා භංගත්වයට පත් වීම වලක්වන්න බැහැ.

  20. මෙතැනදී, ඒ ඉගෙනීමට මහා ජනතාවගේ හෝ වෙනත් පොදු දේපොලක් ඒ ඉගෙනීම සඳහා වැය කරලා තියනවා නම්, එහෙම යන එකේ මොරාල් ප්රාශ්නයක් තියනවා. දැන් මා වැනි කෙනෙක් සඳහා ලංකාවේ මහ ජනතාව වියදමක් දරා තියනවා. එතැනදී බලාපොරොත්තු වන්නේ අප ලොකු වෙලා ආපසු සේවය කරයි කියලනේ. වැඩේ තියෙන්නේ එහෙම ඉගැන්නුවත්, ඒ හැම පිරිසටම (ශිල්පිය දැනුමට හෝ ශිල්පිය දැනුම අමතක කරලා වුනත් ජිවත් වෙන්න පුළුවන්) රැකියා තියනවද කියන එක.

  21. මා වැනි ඉවීමෙන්ම උයන්න දැනගෙන තියන අයෙකු ගෙයි, ඉවීම කියන දෙය හදාරලා තියන කෙනෙකුගෙයි ඉවීම් වල පමණක් නොවේ, ඒ ඉවීම් ඉදිරිපත් කරන හැටියෙත් වෙනසක් තියනවා. ඒ වගේම රස්සාවක් කිරීමෙන්ම ඒ වැඩ උගත් කෙනෙකුයි, යම් ඉගෙනීමක් සමග ඒ වැඩ උගත් කෙනෙකුත් වැඩ කරන විදිහේ වෙනසක් තියනවා. සමහරුන් මේ අවශ්‍ය ඉගෙනීම රැකියාවේ යෙදෙන ගමන් ලබා ගන්නවා. තව සමහරු කලින් ඉගෙන ගෙන ඒවා පසුව වැඩ කරන්න පටන් ගත්ත විට යොදා ගන්නවා.
    පොල් ගස් නැගීම, ගස් නැගලම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි රස්සාවක් විදිහට පොල් කඩන විට, බිම ඉඳන් අඩු ශ්‍රමයකින් පොල් කඩන ක්‍රමයක් හොයා ගන්න උත්සහ කරන්න හෝ ඒ ගැන හිතන්න හැකියාවක් ගස් නැග්ග පමණින් ලැබෙන්නේ නැහැ.

    අරක්කු හා සිගරට් නැත්නම් බජට් සමබර කරලා හමාරයි නිකං. බදු නැති වෙන ලොවක් තියනවද කියල හොයන්න කලින් පරලොව යන්න තිබුනා, මේවා නිතර ගැහුවොත්. ආයිත් කිකිලියි බිත්තරෙයි වගේ තමා. 😀

  22. කෙන්ජි මචං, මම කිසි විටෙම වැල යන හැටියට මැස්ස ගසා හෝ වාසි පැත්තට හෝයියා කියා හෝ නෑ. ඒ හැකියාව තිබ්බා නම් අද මා මෙතන නෙවෙයි ඉන්නේ.

    මෙතන කලේ අන් මත ඉවසීම පමණයි. ඒ වගේම මහත්මා ගතියෙන් සංවාද කිරීම ගැන අර තිදෙනාව අගය කිරීමයි.

    ස්තුතියි රයිගම්.

  23. ගණන් ගන්න එපා බන්, ඔය මන්නාඩේ ගේ මරණ ශෝකයට කියන කතා!

  24. ගනන් ගන්න එපා ඩූඩ්……..

  25. >>මෙතන කලේ අන් මත ඉවසීම පමණයි. ඒ වගේම මහත්මා ගතියෙන් සංවාද කිරීම ගැන අර තිදෙනාව අගය කිරීමයි.<<
    එහෙමද ගුරු තුමනි;
    සිත රිදුනා නම් සමාවන්න.

  26. ඩූඩ් විරුද්ධ මතවාද ප්‍රකාශ කරන්න යුද්ධම තියෙන්න ඕනේ නෑ.
    අනික මම නම් ගහගත්තත් හවසට ආයේ පරණ මනුස්සයාමයි. මේ බ්ලොග් අස්සේ මරාගන්න අපිට බෙදාගන්න බැරි දේවල් නෑ. මේ අදහස් හුවමාරුව, අනෙකාට ගරු නොකරන, අන් මත නොඉවසන එක බොහොම පහත් දෙයක් කියලා මේ අයට නොතේරෙන එක අස්සේම ලොකු අවුලක් තියෙනවා මචන්.
    මම ඉහත කතාව කීවේ මගේ අත්දැකීම්මත මම දැන් ඉන්න අදහස් උඩ. සමහරවිට අපිට නොපෙනෙන පැත්තක් උඹට ඇති.

  27. මේ අදහස මම ගොඩාක් තැන්වල කියන දෙයක්. මට අනුව මිනිස්සු විතරයි ඒ හැමෝම. මට මිනිස්සු එක්ක තරහක් හෝ වඉරයක් නෑ. මම ලංකාවේ ප්‍රශ්නේ ගැනත් ක්‍රියාකාරි වුනා කාලයක්. අදටත් මම ඒ හැම මනුස්සයාගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීහිටින කෙනෙක්. මට සිංහල දෙමළ මුස්ලිම් හෝ ලාංකික හෝ ලාංකික නොවන අය කියලා කවදාවත් ප්‍රශ්නයක් තිබුන කෙනෙක් හෝ තියෙන කෙනෙක් නොවෙයි. මට අනුව බොහෝ සිංහල මිනිස්සු ජාතිවාදියි.
    අනික දැන් අපිට මේ ලංකිකකම ගැන කියන (පොර ටෝක් දෙන) අය බොහොමයක් ඉන්නේ පිට රට වල. ඒ මිනිස්සුන්ව මෙ අරටවලින් හරවලා යැව්වොත් මොන කතා කියයිද කියලා මම හැම වෙලේම හිතනවා. ඉතින් අර දෙමළාගේ ප්‍රශ්නේත්, මුස්ලිම් මිනිසාගේ ප්‍රශ්නෙත් මට පේන්නේ ඒ විදියටමයි. මම දැක්කා මගේ නමත් එක එක තැන්වලට ආඳගෙන තියෙනවා මේ මිනිස්සු කරන්න වැඩක් නැතිකමට වෙන්නැති.
    (මට නම් මේ රටෙන් මට යන්න වුනොත් යන්න තැනක් නෑ. ඒක හින්දා මම ඉස්සෙල්ලාම මම ගැන වගේම අනිත් අයගේ ඇඳුම් ඇඳගෙනත් බැලුවම මට පේන සත්‍යය ඕක. )

  28. රංගි, මේ රටවල් වල ආගන්තුකයන් වශයෙන් ජිවත් වෙන්නත් පුළුවන්. නැත්නම් එහෙම නිතර හිතන්නේ නැතුව ජිවත් වෙන්නත් පුළුවන්. සංක්‍රමණික අප එක අතකින් සුළුතරයට අයිති වෙනවා. අනික් අතින් අපට විශාල සමාජ ජාලයක්, නෑයන් හා වෙනත් දන්නා විශාල පිරිසක් නැහැ. ගොඩක් වෙලාවට අපම තමා මුලුගැන්වෙන්නේ.

    මට දැන් මෙහෙ ඔය කඩේක හරි පාරක හරි සුද්දෙක් එක්ක බැන ගන්න ගියත්, ලංකාවේදී ක්‍රියා කරන්නේ ඉතා පරිස්සමින්. මොකද එහෙ තත්වය අප ඇත්තටම දන්නේ නැති නිසා.

    මා කතාවක් කියන්නනම්. අද අප ජිවත් වන ගෙදර මුලින්ම බලන්න ආපු දවසේ මා ගෙදර පිටි පස්සට බලන්න ගියහම, අල්ලපු වැටේ සුද්ද ඇහුවේ, මොකද උඹ මේක ගන්නද? කියා. ඉන්පසු ඔහු මා සමග කතාවට වැටුනා. මා කල්ලෙක් කියා හෝ පිටස්තරයෙක් කියා ඔහු සැලකුවේ නැහැ. ඊට කලින් අප ටික කලකට කුලියට ගත්ත ගෙදර තිබුනේ පරණ උණුවතුර යන්තරයක්. පළමු දවසේ මා එය දල්වා ගන්න උත්සහ කරන විට, ඒක දැකපු අල්ලපු වත්තේ සුද්ද, වැටෙන පැනල අවුත්, මා එලෙක්ට්‍රිශියන් කෙනෙක්, ඔහොම ඉඳපන් මට ඕක කරන්න පුලුවන්ද කියා, වැඩේ කරලා දුන්නා.

    ජාති වාදය කොතරම් තිබුනත්, එදිනෙදා හමුවන ගොඩක් දෙනා යහපත් පොරවල්. අපේ පුතාව පාසලෙන් ගන්නේ සුදු ජාතික මිතුරියක්. බලන්න ලංකාවේ ගෙයක් මිලට ගන්න ගියොත්, අල්ලපු වත්තේ එකා, කොහොම හරි ඒක වණ කරන්න තමයි බලන්නේ. කුලියට අල්ලපු ගෙදරට එන එවුන් පිටස්තරයන් කියා සලකන්නේ. ඉතින් මේ හොඳ හා නරක අප තේරුම් ගන්නා ආකාරය තමා, අපේ ජිවිත පහසු හෝ අපහසු කරන්නේ.

    මේ දිනවල සමහර තැන වල ලියවුන මේ සංක්‍රමණිකයන් ගැන කතා වල තියෙන්නේ වයිරය මුසු කුහක හැඟීම්. මේ යන එවුන්ගෙන් වැඩක් නැතිය කියා කියනවා. එහෙනම් මොකටද එවුන් ගැන තලු මරමින් කතා කරන්නේ. ඇත්තම කතාව මේ සංක්‍රමණය අපේ වැනි රටකට ඉතා හොඳ දෙයක් නොවේ. ශිල්පින් හිඟය එතරම් විශාල යයි කියන්න බැරි වුවත්, වෙනස් ආකාරයකින් හිතන පිරිස් දිගින් දිගටම සමාජයෙන් ඉවත් වීම මගින්, විශාල හානියක් සිදු වෙනවා.

    ඒක නොවේ වැඩේ, මේ රටින් පැන ආපු විශාල පිරිසකගේ කතා අතර බිහිසුණු ඛේදවාචක සැඟවිලා තියනවා. ඔය කියන නිදහස් අධ්‍යාපනයට වියදම් කරපු මුදලට එයාලගේ ජිවිත වලට සිදු කළ අකටයුතුකම් හිලවු කරන්න බැහැ. තමන්ගේ ඇස් ඉදිරිපිට අම්මා හෝ තාත්තා පහර ගෙන යාමක් දැකපු දරුවෙකුගේ හෝ පුතාගේ මල කඳේ කොටසක් පාර අද්දර දැවෙන එක දැකපු මවකගේ හෝ කුරිරු සිහිනයන් ඒ ජිවිත වලින් කිසිදා අයින් වෙන්නේ නැහැ. රටින් පැන යන්නට බැරි පිරිස් වලට ඒ විඳවීම් වඩාත් සැරට දැනෙනවා ඇති. 😦

    එහෙම අත්දැකීම් ඇති රටක බත් ගිලිමින්, කාම සේවනයේ යෙදෙමින්, සුරා බොමින් ඥානයෙන් අසාර පිරිස් විසින් වර්තමානයේ ගෙන යන ක්‍රියා දැක ගන්නට මා එහි නොසිටීම ගැන දුක් විය යුතුද?

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.