Tag Archives: රෝගී තත්වයන්

බොරුවට අසනීප වීම! Unwellness!


මේ සතිය කුණු සතියක්. වැඩට ගියෙත් නැහැ. ගෙදර ඉඳන් වැඩක් කරන්නත් බැහැ. මොකද කරන්නේ. ඔහොම දවස් එනවා. විශේෂයෙන් ශීත සමය ආරම්භය කියන්නේ ජරා සමයක්. දොස්තර එපා කියුවේ නැත්නම් මා වැඩට යන්නත් ඉඩ තිබුණා. දවසෙම කියවීම පවා කරන්න පුළුවන් දෙයක් ද.

පොඩි කාලේ තත්වය වෙනස්. බොරුවට අසනීප වීම පොඩි කාලේ නම් මාත් කළා. පාසල් යන්න කම්මැලි නම්, චක්කරේ පාඩම් නැත්නම් උදේට බඩ රිදෙනවා. නැත්නම් ඔලුව කැක්කුමයි.

හැබැයි ඉතිං, බොරුවට ලෙඩ වන්නේ පොඩි ළමයි විතරක් නොවේ. මෙල්බර්න් වල බ්ලොග් කාරියක් වන බෙල් ගිබ්සන් ජීවන විලාසිතා උපදෙස් දෙන බ්ලොගයක් පටාන්ගෙන එහි හොඳ සාර්ථකත්වයක් ලබා ගත්තු කෙනෙක්.

මෙයා ඇප් එහෙකුත් හැදුවා වෙල්නස් වලට. හැබැයි මේ සේරම පටාන් ගත්තේ ඇයගේ මොලේ පිළිකාවක් ගැනත්, ශරීරයේ නොයෙක් අංග වල තියන අටෝරාෂියක් ලෙඩ රෝග ගැනත් කියමින්. අවුරුදු 23 ක ගැහැණු ළමයෙක් මරණයේ එළිපත්තේ ඉන්නවා කියන විට සසල නොවන්නේ කවුද? ඇය තමන්ගේ බ්ලොගයෙන් ප්‍රවර්ධනය කෙරුවේ සෞඛ්‍යමත් දිවියක්.

පිළිකාවක් හැදී ඉන්න විට සෞඛ්‍යසම්පන්න ආහාර හා සම්ප්‍රදායික ක්‍රම මගින් නැවත යථා ස්වරූපයට ආපු ඇගේ කතාන්දරේ ලෝකයේ බොහෝ දෙනාට ආස්වාදජනක හා බලාපොරොත්තු ඇති කරණ කතන්දරයක් වූවා.

දැන් මාසයකට පමණ පෙර එළියට ආව මෙයාගේ පිළිකා කතා සේරම බොරුය කියල. අර ඇප් එක විකුණලා පිළිකා පර්යේෂණ වලට මුදල් දෙනවා කියුවත්, එහෙම හම්බ වුණ මුදලක් නැහැයි කියනවා. දැන් ඇප් එක මිලදී ගත්තු කට්ටිය ආපසු මුදල් ඉල්ලනවා කියා ආරංචියි. ඇපල් සමාගම නම් ඔන්න ඇගේ “ඇපය” අයින් කරලා.

මෙයට සති කිහිපයකට කලින් ඇමෙරිකාවේ බ්ලොග් අම්මා කෙනෙක්, වසර 20 කට සිරගෙට යැවුවේ වයස අවුරුදු 5 ක් වූ තම පුතාව, ලුණු විෂ කර මරා දැමීම නිසා. ඇයත් තමන්ගේ බ්ලොගයට සෙනග අද්දා ගන්න තමා එය කර තියෙන්නේ. ඇය තමන්ගේ “රෝගී” පුතා මරණ මංචකයේ ඉන්න හැටි පොටෝ ගහල බ්ලොගයේ දමා තියනවා.

ඇමෙරිකාවේ සිරගෙට නියම වුන කාන්තාව ඇත්තටම මානසික රෝගී තත්වයකින් (Munchausen syndrome by proxy) පෙළෙනවා යයි වාර්තා වුණා.(Munchausen syndrome by proxy is a mental illness and a form of child abuse. The caretaker of a child, usually a mother, either makes up fake symptoms or causes real symptoms to make it look like the child is sick). මෙල්බර්න් නුවර බෙල් ද මේ රෝගී තත්වයෙන් පෙළෙනවා යයි මා ඊයේ කියවපු පුවතක තිබුණා.

දැන් මෙහෙම බ්ලොගයක් පස්සේ ගිය කෙනෙක්, එම බ්ලොග් කාරිය/කරුවා සමග කේන්ති ගන්න එක සාධාරණ ද? පිළිකාවක් නොමැති වුනත් අන්තිමට එය රෝගී තත්වයක් නම් සමාව දිය යුතු ද? එය මානසික රෝගී තත්වයක් කියුවත්, අර අම්මව හිරේ යැවීමේදී එය බල නොපාපු එක ගැන මට එතරම් පැහැදිලි වැටහීමක් නැහැ.

අසනීප නොමැති තත්ව යටතේදී වුවත් කිර්තිය හා ධනය වෙනුවෙන් බොරු කිරීම හා කීම ලෝකයේ මහා අමුතු දෙයක් නොවේ. සමහර ව්‍යාපාර පවා බොරුවෙන් පටන්ගෙන බොරුවෙන්ම කරගෙන යන දේවල්. වෙළඳපොලේ තියන බොහෝ ආහාර වල ලේබල් පවා එක්කෝ බොරු නැත්නම් කොලේ වහල මුද්‍රණය කර තියෙන්නේ කියා අපට නිතර දැනගන්නට ලැබෙනවා. එහෙම දැන ගන්නට ලැබෙන්නේ ඒ පිලිබඳ විශ්ලේෂණය කර ඉදිරිපත් කරන්නට ප්‍රවීණත්වයක් ඇති මිනිසුන් හා ආයතන තියන නිසා.

හැබැයි ඉතිං බෙල්ගේ කතාවෙන් පවා හෙළි වන්නේ, සෞඛ්‍යමත් දිවියක් ගැන, හෙල්ති ආහාර ගැන ප්‍රජාවගේ පවතින උනන්දුවයි. එතන තියන අලුත් (ම කියන්නත් බැහැ) ප්‍රවණතාවය තමා, මේ වගේ දේවල් ගැන විධිමත්ව ඉගෙන ගත් අය ලෝකයේ සිටිත් දී, ප්‍රාතිහාර්යය හා ගොඩ වෙදුන් පසුපස යාම. නූතනම කියන්නට බැහැයි කියුවේ සමාජයේ කොටසක එම මානසිකත්වය මිනිස් ඉතිහාසයේ දන්නා කාලයක සිට පැවතෙන නිසා.

දැන් මේ ආහාරයක් විශ්ලේෂණය කරන විදිහත් බොරුය, අපගේ මේ බටහිර දැනුම් සේරම බොරුය කියන පිරිසකුත් ඉන්නවා. එවැනි අයව විශ්වාස කරන පිරිස් ඔවුන් සමග එකතු වී ඔවුන්ම කියන නව දැනුම් පද්ධතිය ලොවට හෙළි කරපු දාට, ලෝකයේම ඉන්නා මහම වැදගත් හා ධනවත් පිරිස ඔවුන්ම වනු ඇති. එතෙක් කල්, විවේචන වලට සිමා වුණ එම පිරිස් පසුපස යන අයට අබ සරණ මිස වෙන කුමන සරණක්ද?

මාත් නිතර අසනීප වෙන්නේ නැහැ. ගිය සතියේ වැඩට ගියේ අසනීප ගතියක් තියෙත්දී. ස්වභාවිකව මේ තත්වය මග හැරී නොයන වග තේරුම් ගත්තු විට, මා ගියේ මේවා ගැන ඉගෙන ගත්තු දොස්තර කෙනෙකු ගාවට. මටත් බෙල් ගේ බ්ලොගය කියවල බේතක් ගෙදර හදා ගන්න තිබුණා. සාමාන්‍ය දොස්තර කෙනෙකු වන්නටත්, කෙනෙක් තමන්ගේ දිවියෙන් වසර පහක්-හයක කාලය යොදවන්නේ නිකම්ම නොවේ නේ.

නිකම් පෙනෙන්නට තිබෙන දේ ඇසුරින් හා කරුණු විශ්ලේෂණය කිරීමකින් තොරව සිද්දාන්ත හා පරම සත්‍යයයන් ඉදිරිපත් කරන පිරිස් වැඩි වෙමින් පවතිනවා. එවැනි එක නාඩගමක උච්ච අවස්ථාව, ඕස්ට්‍රේලියාවේ පසුගිය සතියේ අප දුටුවා. එනම් දරුවන් ප්‍රතිශක්තිකරණයට එරෙහිව ආපු ව්‍යාජ විශේෂඥයයන්ගේ ප්‍රචාර වලට රජයෙන් ගත්තු නව පියවරයන්. මව්-පිය කැමැත්තට දරුවන් ප්‍රතිශක්තිකරණය නොකිරීමට තිබුණ කොන්දේසි වල හිල් රජය විසින් වසා දැමුවා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු යහපත ක්‍රියාත්මක වන විදිහට හොඳ උදාහරණයක් මේ.

(මා මේ ලියුවේ උදේ ප්‍රවුර්ති බලන ගමන්. සාමාන්‍යයයෙන් සතියේ දිනෙක කරන්නට නොලැබෙන දෙයක්. දැන් අසනීප ගැන කියා මගේ බ්ලොගය ප්‍රවර්ධනය කර ගන්න හදනවා කියා සිතන්න එපා. මගේ සටහන් කියවන්නේ ඒ සඳහාම එන ස්ථිර පාඨක පිරිසක්. මේ පිරිස තව දුරටත් ප්‍රවර්ධනය කර ගන්නට ලියන්නට ඕනේ නම් හොඳ මාතෘකාවක් තමා ව්‍යාංජන. පාඨකයන් වඩාත් කියවපු මගේ සටහන් මොනවාද කියල සොයා බලත්දී, පතෝල හොද්ද කියන සටහන මුලටම එනවා. එහෙම ඇවිත් මේ සටහන කියවලා යන පිරිස් මට බනිනවා ඇති. මොකද ඇත්තටම ඔවුන් සොයා ඇවිත් තියෙන්නේ “ව්‍යාංජන” යක්).

http://www.heraldsun.com.au/news/opinion/belle-gibson-a-story-of-deceit-betrayal-of-trust-on-a-grand-scale/story-fni0fhk1-1227315495119#itm=%7C%7Cnca-homepage-news-plus-story%7C1%7Cheading%7C%7C&itmt=1429702331590
http://www.usatoday.com/story/news/nation/2015/04/08/lacey-spears-to-be-sentenced-today-in-sons-death/25446521/

6 Comments

Filed under Health, Social